Monday, January 14, 2013

කවුද මේ......

කොහොමද මං ඔයාව හරියටම විග්‍රහ කරන්නේ මහ දුෂ්ට නපුරෙක් කියලද තැම්පත් යහපත් කෙනෙක් විදියටද? නැ .....
ඔයා මහ දෙකටම නැති කෙනෙක්.
වෙලාවකට රිද්දනවා මට දරාගන්න බැරි තරමට ගින්දරක් දීලා,  ඒ වගේම මාව සතුටෙන් තියනවා සැහැල්ලුවෙන් පාවෙන්න තරම් .ඒ සේරමත් හරි මාව පිස්සු වට්ටන්නේ ඇයි, ඇයි මාව බය කරන්නේ,ඇයි මට එක අරමුණක ඉන්න නොදෙන්නේ? මේ සේරම කරලා කඳුළු පනිනකල් මාව හිනස්සවන්නේ ඇයි? මට තේරෙන්නේ නැහැ ඔයා කොයි වගේද?

ඇත්තටම එක විදියකට ඉන්නම බැරිද?

නැ නැ. එහෙම එපා එහෙම උනානම් මං දුක දරාගන්න බැරිව මැරෙයි නැත්නම් සතුට දරාගන්න බැරිව මැරෙයි. ඔයා මහ බයගුල්ලෙක් එකනේ හැංගිලා ඉන්නේ. කොහෙ ඉන්නවද මොන වගේද .... කවුද දන්නේ !!!
කවුද මේ...
ඔව්... ඔව්..ඔයා තමයි
මොනතරම් රිද්දුවත්, කොයිතරම් සතුටු කරත් මං ගැන ඔයා තරම් වෙන කවුරැවත් දන්නේ නැහැ.ඔයා තරම් මට අවංක කෙනෙක් මේ විශ්වයේ වෙන කොහෙවත් නැහැ.ඒ වගේම ඔයා තරම් කාවවත් මට විශ්වාසත් නැහැ.ඒවගේම මාව විනාශ කරන්න පුළුවන්කම තියෙන්නෙත් මාව ජීවත් කරන්න පුළුවන්කම තියෙන්නෙත් ඔයාටමයි

..... හිත .............

මං දන්න පුදුමාකාරම අවයවය. පටක රහිත ,සෛල රහිත ,අදෘෂ්‍යමාන හිත ..
වෙලාවකට හිතෙනවා ජීවත්වෙනවා කියන්නේ අපි හිතන එකටද කියලා.මං වැරදි ඇති ඒ මට හිතෙන හැටි තමයි. හිත හැම වෙලේම නිවැරදි නැහැ.නමුත් අපිට හිතෙනවා අපි හරිමයි කියලා.ඒ තමයි අපේ හිතුවක්කාර හිත. මොනවා උනත් අපි හිතට වහල් වෙන්න නරකයි. හිතට යහපත් දෙයක් ආවොත් නම් කමක් නැහැ ඒත් වෙනස් දෙයක් ආවොත් හිතට කලින් බුද්ධියට මුල්තැන දෙන්න ඕනේ. නැත්නම් හදිසි සිතුවිල්ලක් හින්දා ජීවිතේ නැතිවෙන තරමටම තීරණ ගන්න ඉඩ තියෙනවා. හිත හරිම මෝඩයි දුකක්, රිදවීමක් ඇතිවුණ වෙලාවට. හිත හොයන්නේ ඉක්මන් ප්‍රතිඵල ඒකේ බලපෑම ගැන හිතන්නේ ඊට පස්සෙයි.

ඉගනගන්න කාලේ තමා හිත අවනත නැත්තේම. ඒත් දක්ෂයා හිත ඉගනීමටම යොදවනවා.නමුත් සැහෙන පිරිසක් හිතට දුවන්න දීලා ජිවිතේ අවුරැද්දක් දෙකක්, සමහරවිට මුළු කඩඉමක්ම නැතිකරගන්නවා.හිත හොයන්නේ තාවකාලික සතුට. ඒනිසා හිතට එන සිතුවිලි බුද්ධියට ස්කෑන් කරන්න දෙන එකයි හොඳම.මොකද තාවකාලික සතුට සදාකාලික දුකක ආරම්භය වෙන්න පුළුවන්.

හැම හිතම සම්පූර්නව අවංක නැහැ. අපි රහත් වෙලා නැහැනේ. කුහකකම ,ආත්මාරථකාමී බව පොඩ්ඩක් හරි වයසත් එක්ක අපේ හිතට ඇතුළුවෙනවා. හරියට වයිරස් වගේ (වෛරස් ගාඩ් එකක් දමා ගැනීම තමතමා සතුයි)  මේ දේවල් වලින් ඈත් උන පිරිසිදුම හිතක් තියෙන්නේ පුංචි ළමයින්ට. ඒකයි පුංචි පැටව් හිනාවෙද්දි සිරියාවන්ත. ඔනෙම දෙයක් කරන්න හිතේ කැමැත්ත ඕනේ. හිතට හැඟීම් දැනීම් දැනෙනවා ඒවා තෝරලා බේරලා ප්‍රකාශ කරන්න ඕනේ. 

හිත කොටස් දෙකයි. උඩු හිත සහ යටි හිත කියලා දෙකකට බෙදෙනවා. අපේ උඩු හිතේ තමයි එදිනෙදා සිදුවීම් මතකයන් තියෙන්නේ. ඒවා තාවකාලිකයි. නමුත් යටි හිතට ඇතුල්වෙන සිතුවිලි දීරිඝකාලීනයි. ඒ සිතුවිල්ල යහපත් නම් හොදයි නමුත් ඒක නපුරක් නම් හිතට ඒ දේ ඉෂ්ඨ වෙනකන් ඉවසුම් නැහැ. මිනිස්සුන්ගේ හිත් දුර්වල නම් ඉක්මනින් පොඩි දේකිනුත් මුළු ආත්මයම කඩාවට්ටාගන්නවා. නමුත් හිත හයියයි නම් දරාගෙන ඉදිරියටම යන්න ඊටත් වඩා ගැම්මක් තවත් නැහැ. දුරුවල හිතට රිදවීම් වේදනාවන් දරාගන්න අමාරැයි. මානසික ලෙඩක්/පිස්සුවක් තරමටම උනත් වැටෙන්න පුළුවන් මේ හිත හරියට යෙදෙව්වොත් දියුනු කලොත් කරන්න බැරි දෙයක් නැහැ.

මිනිහෙක්ව දෙවියෙක් කරන්නත් අමනුස්සයෙක් කරන්නත් පුළුවන් හිතට. බලාගෙන යද්දි මිනිස් හිත මහා භයානක ආයුධයක් වගෙයි නේද? පුරැදුවෙන්න හිතත් එක්ක කතාකරන්න.. ඇයි මේ දේ මං කරන්නේ? මේකේ බලපෑම් මොනවද? ප්‍රතිඵල හොඳද නරකද? මට මොනවද මේදෙයින් ලැබෙන්නේ? දෙපාරක් හිතන්න. හිත් වේදනාවක් ආවොත් මුලින්ම හිතට එන්නේ හිතුවක්කාර තීරණයක් ඒ ගැන සංසුන්ව හොඳ සිහියෙන් හිතන්න. දහ අතේ දුවන හිත මෙල්ල කරගෙන දුක සතුට සම සේ දරාගෙන ජීවත්වෙන්න. ඒක තමයි හොඳම දේ.

ඔබේ හිතට, ඔබේ යහපත් අරමුණට ලගාවීමට අවැසි ශක්තිය නොඅඩුවම ලැබේවා....!!!!!




Wednesday, January 9, 2013

ආත්මගත බැඳීම - සහෝදරකම

වදාවත් අමතක නොවෙන පලවෙනි දවස තමයි එකදාස් නමසිය අනූ හයේ මාර්තු දාසය. මං ඉක්කෝලෙ ගියපු පලවෙනි දවස..... අම්මා එක්ක ආපහු යන්න ඕනේ කියලා මං පෙරළි පෙරළි ඇඞුවා.

ඔය විදියට පලවෙනි දවස් කොච්චර ගෙව්නද....?
දෙදාස් දහතුනේ පලවෙනි දවස මගේ ගෙවුණේ මේ විදියට....

සුපුරැදු විදියට ගුලි වෙලා නිදියං ඉද්දි නිංදෙන් වගේ පෝන් කට්ට දිහා බැළුවා  හයට කාලයි. ආයෙ පැත්තකට හැරිලා ඇහැ පියාගන්න හැදුවම මතක් උනා පලවෙනිදනේ කියලා. ඉතින් කඩියා වගේ නැගිටලා මූණ හොදගෙන අම්මා හදලා දුන්න කිරි එක ආමාශගත කරගෙන ඉදලත් අරං මිදුලට බැස්ස අතුගාන්න
(අම්මා ඇස් ඩොගිත්තං බලං ඉන්නවා.) ඇයි යකෝ මං මීට කලිං මිදුල අතුගාලම නැද්ද? කල්පනා කරලා බැළුවා, මාසෙකින් විතර නෑ තමා. සමහර විට දෙකකින්. හී.......ඔහේ ඕන එකක් මං අතුගාගෙන යද්දි මගේ අතිජාත මිතූයෙක් යනවා පාරෙ... මගේ යාළුවෝ ඉතින් මං වගේම තමා..

“ අහ් ... අදවත් මූණ හෝදගනින්“ පාන්දරම කින්ඩියක්
“අතින් පිහගත්තා බං“ මාත් ඇරියේ නෑ...“උඹ යන ගමනක් නාගෙනම පලයං, යන යන තැන ගඳගහනකොට පලවෙනිදා අනිත් අයටගේ නහයට අවුලනේ බං“ මාත් විරිත්තගෙනම කිව්වා.

අම්මා කිරිබත් උයලා මට කන්න එන්න කිව්වා.
ඉතින් කාලා බීලා දවසගෙවුනා කියමුකෝ......


වැඩේ කියන්නේ අවුරැද්ද ලැබුව දා ඉ‍ඳන් මේ ලියන අද වෙනකල්ම මට කිසිම සිතිවිල්ලක් ආවේ නැහැනේ ලියන්න. මං මේ  ගැන හිත හිතා ඉන්නකොට මට මඟ හැරැණ දෙයක් මතක් උනා. මං අම්මා ගැන කිව්වා , තාත්තා ගැන කිව්වා ,යාළුවෝ ගැනත් කිව්වා අද..............................................

පුංචි පැලක් තිබුණ. අපේ ගමේ තිබුණ අන්තිම පොල් අතු පැල කිව්වොත් නිවැරදියි. වරිච්චි බිත්ති වට වුණ ඒ ගෙදර මං දන්න විදියට තිබුනේ ඇඳකුයි පුටු දෙකකුයි ගරා වැටුන රාක්කෙකුයි විතරයි. අවුරැදු දොලහක් විතර ඇති පොඩි කොළුගැටයෙකුයි අවුරැදු තුනකට හතරකට කිට්ටු පොඩි දුවෙකුයි අම්මයි තාත්තයි තමයි ඒ පැලේ හිටියේ. ඒ ගෙදර අම්මා හදිසියේම අන්තරා වුණා.එදා ඉඳන් ඒ ගෙදර පිලිවෙල කනපිට හැරැණා. අම්මා ඉද්දි කොහොම හරි ඉස්කෝලෙ ගියපු පිරිමි ළමයාට පොඩි මයා බලාගන්න ගෙදර නවතින්න උනා.ඒ ගෙදර තාත්තා බීමට ඇබ්බැහි වෙලා විනාස වෙන්න ගත්තා. ඇත්තටම ගෙදර අම්මා නැති උනාම කොයිතරම් දේවල් වෙනස් වෙනවද?
මේ අතරේ අර පුංචි ලමයාගේ බඩගින්න නිවන්න අයියා ගල්වලක ගල් කඩන්න ගියා.දවල් ගෙදර තනියම දාලා යන්න බැරි හිංදා අර පොඩි කෙල්ලවත් වඩාගෙන උදේම ගල්වලට යන මේ පිරිමි දරැවා බිං කරැවල වැටීගෙන එද්දි ආයෙමත් නංගි වඩාගෙන ගෙදර එනවා. ගමේ සමහර උදවිය රෑට උයන දේකින් කොටසක් ඒ ළමයි දෙන්නට දෙන්න තරම් කරැණාවන්ත වුණා.මහ රෑ වෙලා තාත්තා බීගෙ ඇවිත් රටේම ඒවා කියවන්න  ගන්නවා,එක්කෝ කාට හරි  බනිනවා. මේ දේවල් දකිද්දි අපේ හිත් කම්පා වෙන එක සාමාන්‍යයි උනත් මේ දේවල් වෙනස් කරන්න තරම් හයියක් හැමෝටම නැහැ. 

මං මේ කියන්න පටං ගන්න හදන්නේ සහෝදරකම ගැන.මේකට වස්තු බීජය වුනේ අර ළමයි දෙන්නා.
පුළුවනි නම් හිතෙන් මවාගන්න, සෑහෙන්න පරණ  ඉස්කොලේ ඇඳපු කලිසම් කොටයක්  ඇඳගෙන, අව්වට පිච්චුන  ඉළ ඇට බේරැණ නිරැවත් පපුවට තමංගේ නංගිව තුරැල් කරගෙන යන එන පොඩි කොල්ලෙක්. අනික් ලමයින්ට වගේ ආසා ඇති යාළුවෝ රැළත් එක්ක සෙල්ලම් කරන්න යන්න,ඉස්කොලෙ යන්න, ඒත් ඒ සේරම යටපත් කරගෙන තමන්ගේ නංගිට තාත්තෙක් වෙන්න ඒ ළමයට කවුරැවත් කියල දුන්නේ  නැති වුනාට ලේවලින් එන සහෝදරකම ඒක කියලා දීලා තිබුණා.
සමහර ගෙවල් වල අක්කලා මල්ලිලා , හැම වෙලේම රංඩු, ඒ වුණාට  මල්ලි කිලුටු ඇදුම් විසි කරන්නේ අක්කට “ඕක හොදලා දානවකෝ“  කියලා. අක්කත් ඉතින් හෝදලා දානවා. අසනීපයක් උනාම අම්මා වගේ ලඟ ඉන්නවා කවනවා පොවනවා.අක්කලා නංගිලා නම් හොඳම යාළුවෝ වගෙයි. පුංචි කාලේ කන දේකට උනත් රංඩු දාගන්න සහෝදරයෝ සහෝදරියෝ කාලෙත් එක්ක පුදුම එකමුතුවකින් ඉන්නවා.
අනික් අතට අයියලා මල්ලිලා ඉන්න ගෙවල්... ඔන්න අයියා සපත්තු දෙක පොලිෂ් කරලා, ෂර්ට් එකක් මැදලා කරලා තියලා මූණ හෝදං එනවා. එනකොට  මල්ලි  ඒක ඇඳගෙන යනවා හිනාවකුත් දාලා. අයියාලා නංගිලාට නම් පෙන්වන්නේ පුදුම සැර පාටක්.මතුපිටින් එහෙම වුණාට අයියාලා නංගිලාට ආදරෙයි පුදුම විදිහට. නංගිව පරිස්සම් කරගන්න හදන්නනේ ආදරේ හින්දම තමයි. නමුත් ඒ ආදරේ නංගිට දකින්න ලැබෙන්නේ එකම එක දවසක. ඒ තමයි කල වයස ආවම නංගි විවාහ වෙලා ගෙදරින් යන දවස, කවදාවත් අඞන්නැති අයියාගේ ඇස් වලින් කඳුළු වැටෙන්නේ එදාට.

පොඩි දේටත් මරාගන්න සහෝදරයොත් ඉන්නවා,වස්තුවට නිලයට බලයට සහෝදර කම පාවලා දෙන අයත් ඉන්නවා. ඒත් ධනාත්මකව හිතමූ. 
සහෝදරයෝ ඉන්න අයට ඒතරම් ගානක් නැති වුණාට මං වගේ පවුලේ එකා යකා වගේ ඉන්න කෙනෙක්ට තමයි සහෝදරයෙක්ගේ අගේ දැනන්නේ. සහෝදරයෙක් ලඟ ඉද්දි මොන දේකට වත් හිතට බයක් නැහැ ,මොකද කේලමකට හෝ අල්ලසකට වත් සහෝදරකම වෙනස් නොවෙනනිසා වගේම තමං අමාරැවක වැටිලා අසරණ වුණාම ඒකේ කැක්කුම ඇත්තටම දැනෙන්නේ සහෝදරයාට හෝ සහෝදරීට නිසා. තනියම ඉන්න එක ෂෝක් කියලා කෙනෙක් කියයි.ඔව් සෝක්..ඒත්  තමං ආසම දෙයක් කන්න හම්බුණ වෙලාවක විතරයි. ගෙදර ඉද්දි තේරෙන්නේ නැහැ.පිට තැනක තනි වුණාම තමයි සහෝදරකමේ අගේ දැනෙන්නේ.

සහෝදරකමක්  මට නම් දැනෙන්නේ දෙමාපියන්ට විතරක් දෙවෙනි වුන ආත්මගත බැදීමක් විදිහට. මං හිතන්නේ මං වැරදි නැහැ.
එහෙම නේද?