Saturday, August 31, 2013

වෙස් මාරුව - 8

පැයගානක් දුර ගෙවාගෙන මං මගේ ගමට ආවා. කොච්චර නම් වෙනස් වෙලාද, මනුස්සයෝ වගේම ගහකොලත් මාව නන්නාදුනන විදියටයි මං දිහා බැළුවේ.
 හිත දිව්වා මගේ සුන්දර අතීතයට. හිතුවක්කාර පොඩි කෙල්ලක් විදියට ජීවිතය වින්ද අතීතෙට,  වැලිකැටයක් ගානේ මගේ දගකාර මතකයන් රැඳිලා ඇති, විදුරගේ අතේ දැවටිලා මේ හැම පාරකම මං ගිය හැටි. යාළුවෝ එක්ක වටවෙලා ඉඳපු හැටි,
“ක්රාස්..!!“
 හරස් පාරකින් ස්කූටර් එකක ආව ගොන් කෙල්ලක් වට පිට නොබලාම මං ආව වෑන් එකේ මූනටම බයික් එක දැම්මා.
“අනූනමෙන් ගියේ නංගි, කවුද ලයිසන් දුන්නේ බාප්පද?“
බ්රේක් එකේ නැගගෙන වෑන් ඩ්‍රයිවර් පත්තු වෙලා කෑගහුවා.
“ඔහොම පාරේ යන්නේ මීනී මරන්න ද?“
“සොරි අයියේ..“ හුරුපුරුදු කටහඬක්..
“සචී................“

මං වාහනේ දොරත් ඇරගෙන එලියට පැන්නා. දෙයියනේ අනතුරෙන් සචීට මොනවත් ම වෙලා නැහැ. මට දැනුන සතුට වචනෙන් කියන්න කවදාවත්ම බැරි වේවි.
ඒත් මගේ මූණ දිහා බලපු සචී, එකපාරින් ස්කූටිය ස්ටාර්ට් කරගෙන යන්න ගියා. ඒ ඇයි මගේ එක්ක එකටම ඉඳපු සචී ඇයි මෙහෙම ගියේ. එයාගේ හොඳම යාළුවා ශෙවී.. අනේ, සචී මං කොහොමද කියන්නේ මේක, මේ මං ..........
“ඒ මොකද ඒ..,  මහත්තයා ඒ ගෑනූළමයා දන්නවාද?“
“දැනන් හිටියා..“ ලොකු හුස්මක් පපුවේ හිර වෙලා වගේ දැනුනා මට.
“අපි යං.. “ මං ආපහු වාහනේට ගොඩවුණා. ඈතින් සචී නොපෙනී යනවා බලාගෙන මම ආයෙමත් කල්පනාවට වැටුණා.
ඉතිරි දුර මගේ කිසි කතාවක් නැතිව නිහඩවම ගෙවීගෙන ගියා. ආයෙමත් හදීසියේම පපුවේ ගැස්ම වැඩි වේගන එනවා වගේ දැනුනේ මගේ ගෙදර, දිරාගෙන යන ගේට්ටු පියන් ඇහැගැටුනාමයි. හෙමීහිට වාහනේ  ගේට්ටුව ගාවෙන් නවත්වලා, මගේ බෑග් එකත් අරගෙන වාහනේ හයර් එක ගෙවලා ගේ පැත්තට හැරුනේ හිතේ ලොකු තිගැස්මකින්.
අවුරුදු පහක්. මොනවා වෙනස් වෙන්න බැරිද? අම්මා ? විදුර?...
සචීගේ ප්‍රතිචාරයෙන් මගේ හිත කැලඹිලා ගිහින්. කමක් නැහැ. යථාර්තයට මුහුණ දෙන්නම වෙනවා. වමතට බෑග් එක අරගෙන දකුනෙන් ගේට්ටු පියනට තල්ලුවක් දුන්නේ ලොකු හුස්මක් අරං.
කන් අඩි හිරිවට්ටන සද්දෙකින් ගේට්ටු පියනක් විවර උනා..
වෙනදා මල් වවලා ලස්සනට තිබුණ අඩිපාර අද වල් වැදිලා. තණකොල වෙනුවට වල්පැල හැදුන පටු පාරේ, තියන-තියන අඩියක්-අඩියක් ගානේ මට මගේ පුංචි කාලේ මැවුනා.
අම්මා බත් කවන්න පන්නන හැටි, මං ඉස්කෝලේ ගිහින් එනකල් අම්මා මඟ බලන් ඉන්න හැටි, අම්මාගේ අතේ එල්ලිලා මේ පාරේ ඇවිදන් ගිය හැටි.. මුලින්ම බයික් එකක් අරං දීපු දවසේ මේ අඩි පාරේ මං වේගෙන් ඇවිත් බ්රේක් කරපු හැටි. අම්මා එදා මගේ කනත් මිරිකුවා. විදුර ව අම්මට පෙන්වන්න එක්කගෙන ආව හැටි..
පපුවේ හිර උන දෙයක් උගුරටම ඇවිත් මට ආයෙ හුස්ම ගන්න එපා කියනවා වගේ දැනුනා.

බෑග් එක එතනම බිම අතහැරලා දාලා ඇස් ඉස්සරාම පේන මගේ ගෙදරට දිව්වා. අම්මා ගාව වැඳ වැටිලා හැමදේම කියන්න ඕනේ මට..හැමදේම ... මේ ලෝකේ මාව දන්න එකම කෙනා අම්මා ඉතින් අම්මා මාව තේරුම් ගන්නේනැහැ කියන්නේ කවුද?

දොර ගාව නැවතිලා බෙල් එක ගැහුවා. ගැහුවා නෙවේ ඔබාගෙනම හිටියා කිව්වොත් නිවැරදියි.
“කවුරුවත් නෑ......“ ඇතුලෙන් කටහඬක් ආවා.
මං ආයෙමත් සීනුව ඔබාගෙනම හිටියා.
“කවුද වදේ....නෑ කිව්වම අහන්න බැරිද?“ ඒ පාර ලඟින් ඇහුණ කටහඬ මගේ අම්මගේ නම් නෙවෙයි.

“මේ දොර අරිනවා අයිසේ පවු දෙන්නේ නැතුව, මට අම්ම බලන්න ඕනේ “
ඉවසීමේ නාමයක් නැති මම කෑගැහුවා.
මොහොතක් දෙකක් ගතවෙන්න ඇති.. ඒත් ඒක මගේ ඉවසීමට කල්පයක් දෙකක්..
කිරිකිරියක් දාලා දොරත් බැරි බැරි ගානේ විවර උනා. මනුස්සයා කවුද බලන්න වත් නතරනොවී විවර උන පොඩ්ඩෙන් මම ගෙට පැන්න.
“කවද කවුද මේ.. “ අවුරුදු හැට හැත්තෑවකට වැඩි, වයසක කෙනෙක් මං ඉස්සරහා හිටියා.
“අනේ ආච්චියේ මං ආවේ අම්ම බලන්න.. කෝ කොහෙද?,කොහෙද? මගේ අම්මා. කියනවා මනුස්සයෝ......................“ මං පිස්සෙක් වගේ උනා වෙන්න ඇති.

බයෙන් වගේ බලපු ඇය, උඩ තට්ටුවට අත දික්කරලා ඒ මනුස්සයාත් ඉක්මන් ගමනෙන් තරප්පු පෙල නැග්ගා.
“ලොකු නෝනෙට උන්නේ ගැහැණු ළමෙක් විතර ලුනේ..“ යන ගමන් ඈ කුටු කුටු ගානවා ඇහුණා.
මං උත්තර බඳින්න ගියේ නැහැ.
පටු කොරිඩෝවේ දෙවෙනි කාමරේක දොරක් ඇරලා මට ඇතුළුවෙන්න සන් කලා.

පිලිවෙලට ඉන්න අම්මා කවදත් කැමතියි. කාමරේ තිබුණ පිලිවෙල දකිනකොට මට ආපහු මගේ ජීවිතේ ලැබුණා, මගේම තැනකට ආවා වගේ හැඟිමක් ආවා. ඇස් පියගෙන හුස්මක් අරං ඇස් ඇරලා  මං අම්මව හෙව්වා.
ඒත්...................
“දෙයියනේ මගේ අම්මා..!! “

**********

මං අම්මගේ කකුල් දෙක ඉඹගෙන ඇඬුවා. කඳුළු දෝරේ ගිහින් මගේ පපුව තෙමෙනකොට හුස්මක් ගන්න වත් බැරිව පපුව රිදෙනකොට ඒ ගැන නොතකා මං හිතේ හැමදේම කියලා කෑගගහ ඇඬුවා.  රෝද පුටුවේ පාමුල දණ ගහගෙන මම මාවම පහුරුගාගත්තා.
අම්මේ නැගිටින්නකෝ කියලා කකුල් අතගෑවේ දැන් නැගිටියි කියන බලාපොරොත්තුවෙන්. අත ඉඹගෙන කතා කලේ නිකමට වත් මූණ බලයි කියලා බලාපොරොත්තුවෙන්..
ඇඟට පණ නැති වෙනකල්ම පැයගානත්  පිස්සෙක් වගේ කියෙව්වා.. හිනා උනා..ඇඬුවා...ඒත් අම්මා ජනේලෙන් එපිට බලාගෙන හිටියේ ගල්පිලිමයක් වගේ.

අන්තිම කඳුළු බින්දුවටම ඇඬුවා.. ආයෙ අඬන්න මං දන්නේ නැ.. ඇස් දෙක ඉඳිමුන්බරව මට කියන්න ගත්තා. තියුණු රිදීමක් එක්ක ම.මං අම්මගේ කකුල් දෙක බදාගෙන ඉකිගගහ සිහියක් ඇති නැති ගානට ඉන්නකොට, වයසක ගැහැනු කෙනා ඇවිත් මගේ ඔළුව අතගෑවා.
“ මේ යක්කු ඉරිසියාවට මයෙ පුතාට අම්මා ගැන නොදොඩඩා ඉන්ට ඇති මයෙ හිතේ. නැත්තං බේබි මැරිලා අවුරැදු ගානකුත් වෙලානේ දැන් . සේරම වෙලා අහවර උනාමයි  ඔය මහත්තයා ආවේ.“
මං ගාවෙන්ම බිම වාඩි වුණ ඇය කියාගෙන ගියා.
“ දේපල සේරම මේ මහත්තයටනේ ඉතින් එහෙනම්. ආයෙ දෙකක් නෑ නෑයෝ සන්හතිය යටිමඩි ගහල කොල්ල කන්න තනන්න ඇත්තේ. , ලැබීම වලක්කන්න බෑනේ මහත්තයෝ. දැන් ඉතින් ලොකු නෝනේ බලාගෙන, වතුපිටිත් බලාගෙන ඉන්ටයි තියෙන්නේ.“

“මගේ අම්මට මොකද උනේ “ මං අම්මා ගෙන් ඇහැ අහකට නොගෙනම ඇහුවා.

“බේබි නැති වුණා දැනගත්තාම සිහිනැතිව වැටුණලු. දවස් ගානක් සිහි ආවෙ නැතැයි ලු නේ. එතකොට තමා විදුර මහත්තයා මාව මෙහාට ගෙනත් බාර දුන්නේ.
ඉස්පිරිතාලෙන් ගෙදර ගෙනත් ටික දවසකින් එකපාරම කල්පනාව නැති උනා. පස්සෙන් පහු වෙද්දි ඇවිදගන්න බැරි උනා. ඒ එක්කෝම කතාවත් නැති උනා. දැන් හැමදාම බලාගත්ත අත බලාගෙන පුටුවේ ඉඳන් අහස පොලෝ ගැටගහන්න කල්පනාව.“
“ දොස්තරලා නං කියව්වේ අංශබාගෙට යි කියලා. නහරයක් මොකද්ද වෙලාලු. ඔපරේසන් එකක් කරාට  මේ වෙනකන් නං ගුණයක් නෑ.“

“කවුද වෙන අම්මා බලාගන්න ඉන්නේ“
“උදේ වරුවේ අපේ උයන පිහින කෙලී එනවා. ඉතිරිය මං තමා  සේරම කොරන්න ඉන්නේ. කොච්චර උනත් මං නෝනේ ඇහැ වගේ බලාගන්නවා මහත්තයෝ. දරු කැක්කුමට වුණ දෙයක් මිසක් හිතලා කර ගත්ත දෙයක් යැ.“
ඈ උන් තැනින් නැගිටලා මගේ ඔළුවට අත තිබ්බා.
“යං මහත්තයා පහලට, බඩගින්දරත් ඇතිනේ.. දැන් ඉතින් හිත හදාගන්ට. වෙන්න තියන දේ වලක්කන්න බෑනේ මහත්තයෝ. නෝනෙගේ වාසනාවට මහත්තයා දැන් වත් ආවේ.“
“ මං අම්මා ගාව ඉන්නං “ මං කිව්වා. මට නැගිටලා යන්න ඇඟට පනක් නැහැ. යන්න උවමනාවකුත් නැහැ.. අම්මේ මට මෙහෙම අම්මා දකින්න වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ මගේ අම්මේ.. අනේ කතාකරලා හිනාවෙන්නකෝ. මට මේතරං විඳවන්න බැහැ. මොන පවක්ද මේ මට උනේ..

දෙතුන් පාරක් ඇවිත් , වදෙන් පොරෙන් මාව පහලට එක්කගෙන ගිහින් ‘ඩිංගිරි අම්මා‘ අපේ අම්මා බලාගන්න ඉන්න කෙනා, මට බත් කටක් වත් කන්න පෙරැත්ත කලා. එක කටක්  යන්තං ගිලගත්තත් ඒකත් හිරඋනේ අම්මා පොඩි කාලේ කවපු හැටි මතක් වෙලා.
මට ජීවත් වෙන්න තිබුණ එකම බලාපොරොත්තුව අම්මයි, විදුරයි. ඒත් අද?? මං අසරණ කලේ ඇයි දෙවියනේ මේ තරමටම.
“ඩිංගිරි අම්මේ, විදුර දැන් මොකද කරන්නේ “ .  මං ඇහුවේ එකපාරම විදුර මතක් වෙලා.
“ඒ මහත්තයත් සෑහෙන දුකෙන් ඉන්නේ මහත්තයෝ..අර නැති වුණ බේබි බඳින්න උන්නේ ඒ මහත්තයලුනේ. ගුණයහපත් මනුස්සයා මහත්තයෝ. තමන්ගේ අම්මට වගේ ආදරෙයි අපේ නෝනෙට.නිතර නොඑන්නේ බේබි මතක් වෙන හන්ද මයෙ හිතේ. ඒත් හැමදේම හොයා බලනවා. අපේ මහත්තයා ඒ දරැවාව දන්නවයි? “
“ හම්..  ඒත් මට මහත්තයා කියන්න එපා.ඩිංගිරි අම්මේ“  මට ඒ වචනේ එක්ක හිත පෑරෙනවා වැඩියි කියලා ඒ මනුස්සයා දන්නේ නැහැනේ.
 රෑ වෙලා අම්මගේ සුප් කෝප්පේ මගේ අතෙන් අම්මට පොවන්න ලැබුණා, සතුටට දුකට හැමදේටම ඇසිපිය විතරක් එකම ප්‍රතිචාරය විදියට පෙන්වන මගේ අම්මා. කොහොම ඉඳපු කෙනෙක් ද?
අද මේ සේරම මෙහෙම උනේ කාගේ වරදින් ද කියලා මම දන්නේ නැහැ.
ඒත් හැමදේම අමතක කරලා, අම්මා වෙනුවෙන් පුලුවන් හැමදේම කැපකරන්න මං තීරනේ කලා.
දැන් මට තියන එකම සැනසීම, අම්මා බලාගන්න එක විතරක් ම නිසා.....

අනේ විදුර ඔයා වත් මට නැති වේවිද?

Sunday, August 25, 2013

වෙස්මාරුව - 07

ගමනාන්තයට එනකල්ම සිද්ද වුනේ මගේ බයාදු බැල්ම යොහාන්ගේ  කැලඹුණ මුහුණටයි, යොහාන්ගේ බයාදු බැල්ම මගේ සුදුමැලි මූණටයි මාරුවෙන් මාරැවට එහා මෙහා වුණ එක විතරයි. ඒත් පුදුමෙකට වගේ වෙනදා ගිරවා වගේ ඉන්න ටියා වචනයක් වත් කතානොකර එක එල්ලේම ඉමක් නොපෙනෙන පාර දිහාම නෙත් අලවාගෙන හිටියා.
ඒ ඇයි කියලා  අහන්නවත් , එයා එක්ක කතාකරන්න මං බය වුණා. මම එයා එනවට අකමැති ඇයි ? කියලා එයාට මොනවා හිතිලා ඇද්ද කියලා මට හිතුනේ ඒ වෙලාවෙදි. මම හොරගමනත් යනවා කියලා සැක හිතුනාවත් ද?
“ මදැයි මම උදව්වක් අරන් ලංකාවට ආවා“  මට හිතුණා.

බොහෝම අමාරුවෙන් කාලය ගෙවාගෙන අපි ගුවන්තොටුපලට ආවා. එනකල් මට හිතුනේ දවස ගෙවෙන්නේ නැහැ වගේ.
 “බහින්නේ නැද්ද ? “ ටියානා කතාකරපු පලවෙනි පාර ඒක‍.
ඒත් ඒ කටහඬේ වෙනදා වගේ දඟකාර වත්, හුරතල් වත්, අඩුමගානේ තරහක් හරි මුරන්ඩුකමක් හරි ගෑවිලාවත් තිබුණේ නැහැ.
“ගෑනු කාලගුණේ වගේ කියලා කොල්ලෝ කියන්නේ ඇත්ත ම තමා“ මං මටම කියාගත්තා.

එයාපොර්ට් එකේ වැඩකිඩ කරගෙන එයාර් බස් එකට නගින්න යන්න හැරුණාම මගේ පපුව ගැහෙන්න ගත්තා . “මං ගෙදර යනවා... ඇත්තටම යනවා බං..!!“
උන්හිටි තැන් අමතක උන මං යොහාන්ගේ කණට කරලා හයියෙන් කිව්වම ඌ උඩ ගියා. ඒත් යොහාන් ඇහැ කොනෙන් ටියාව පෙන්නුවම මගේ හිනාවත් කොහෙන් ගියාද නැති උනා.
ඒත් එක පාරම ටියානා නැවතුනා.
“මං නවතිනවා..“
 “ඇයි?“ මං ආපහු හැරිලා ඇහුවා.
“පරිස්සමෙන් ගිහින් එන්න“ ටියානා ගොඩක් දුකෙන් කිව්වේ කියලා මට තේරුණා.
මං ආපහු ටියානා ගාවට ගියා. “ඇයි ඔයා “
මං ලඟට ආවම කෙල්ලට වාවාගන්න බැරි වෙන්න ඇති. ටියා මාව බදාගෙන අඬන්න ගත්තා. කවදාවත් නැති තරම් හෙමින් එයා මට කතා කලා.
“හිතුවද මට හංගන්න ශෙවාන්?. ඔයා කාට හැංගුවත්, මට නම් හංගන්න බැහැ .“
“ඒ කිව්වේ“ මං ඇහුවා.
“මේ ඉස්සර ඉඳපු ඔයා නෙවේ කියලා මට තේරෙනවා හොඳටම. ඔයා අනතුරෙන් මේ තරම් වෙනස් උනේ කෝමද?“ ටියානා කියාගෙන ගියා.
“ඒ කාලේ මගේ මූණවත් නොබලපු ඔයා, අද මාව තුරුළු කරන් ඉන්නවා? මට මේ සතුට දරාගන්න බෑ ශෙවාන්“

හත් ඉලව්වයි!! මං බය වුණා මේ ඇනේට මාව සැක හිතිලද කියලා.

“ශෙවාන් මං බලාගෙන ඉන්නවා ඔයා ආපහු එනකල්.  ඒත් මට ඔයාගෙන් අමුත්තත් දැනෙනවා. ඉස්සර ඉඳපු ඔයා ,දැන් බලද්දි අහසට පොලව වගේ“
මං කට කොනෙන් හිනා උනා විතරයි. ඒත් ලොකු හුස්මක් වැටුනා.
“මට රින් කරන්න ගියපු ගමන්...මං බලං ඉන්නවා. , ම්....අර බෑග්ස් වල ඔයාට ඇඳුම් ටිකක් ඇති, මං ගානේ...“ ටියානා කිව්වා.
“ඔයානම් ටියානා...“  මං එයාට සමු දීලා ආපහු හැරිලා යොහාන් ගාවට ආවා.

“උඹ නම් ශෙයියා...................................ලක් කාරයෙක් කියන්නේ.... “යොහාන් මගේ පිටට පාරක් ගැහුවා ලෙකු හිනාවකින් මුණ පුරවගෙන.
“උහ් , යමං යමං.. නැත්තං ආයේ එයි...“ මං යොහානයත් ඇදගෙන දිව්වේ හිත පුරාම දුවන සතුටෙන්.
ඒත් නිකමට මම අන්තිම දොරෙන්  ආපහු හැරිලා බලද්දි.තවමත්  ටියානා බලාගෙන හිටියා. මං හිනා වුණාම ඒකිත් හිනා වුණා. සත්තමයි ඒ පාර මගේ පපුවට අකුණක් වැදුනා වගේ උනා. මං වැරදීද දෙවියනේ?
ඒත් මගේ අම්මායි විදුරයි නැතුව මට ඉන්න බැහැ. මං එයාගේ කවුරුවත් නෙවෙයි. මං හිත තද කරං ආපහු හැරුණා.

*******

වඳුර දිව්‍යෙලාකේ ගියා වගේ මං ප්ලේන් එක වටේම බැළුවා. ඇත්තටම මං ීවිතේට ෆයි කරන පලවෙනිම වතාව මේ.
“ජීවිතේටම අදද බොල ආවේ“ යොහාන් කනට කෙඳිරුවා
“මීට කලින් ආවයැ බං“ මට කියවුණා.
“වරෙන් වරෙන් තොත්ත බබා නොවී ඉඳගන්න“ යොහාන් මාවත් ඇදගෙන ගියා.

ෆලයිට් එකේ වාඩි උනාම මට මැවිලා පෙනුනේ, මං මැකිලා යනකල් බලං උන්න ටියානාව.
“ඉඩක් ආවොත් මං ඒකිට මේ හැමදේම කියනවා. මාව පිස්සෙක් කිව්වත් කමක් නැහැ“ මං හිතුවේ අවංකවම.
යොහාන් නගින්නත් කලින් නිදි. මූ නැත්තං මට කාගෙන් පිහිටක්ද? ඒත් ඇත්ත දන්නවනම්.. මට මොනවගේ දේකට මුහුණ දෙන්න වෙයිද හිතන්නත් බයයි.
මට මේ ගමන් වල කිසි හුරුවක් නැහැ. එකපාරම ඇඟට අමාරැවක් දැනුනත් ටිකකින් හරිගියා.. කල්පනා කරන්න දේවල් ඔනෙවටත් වඩා තිබුණා මට. 

***************
කාලය ගෙව්නේනම් හරි හෙමිහිට. අවසානෙදි කටුනායක ගුවන්තොටුපලෙන් මං මගේ ලංකාවට පය තිබ්බා. හිතේ ටොන් ගානක බරක් නැති උනා වගේ දැනුනා මට. අපි කොහෙද බං යන්න? මං ඇහුවා යොහාන් ගෙන්. මගේ අම්මා , විදුර දෙන්නවම හීනෙන් වගේ මගේ ඇස් වල මවාගෙන. එයාලා ගේ මුහුණු දකින්න ...
මට ගෙදර යන්න තියන හදිස්සිය මූට දැනෙනවනම්...

“අදනං වෙන කොහෙවත් බෑ ශෙවා.... යමං කාලා නිදාගන්න......“ යොයියා මගේ හීන මාලිගාව එතනම කුඩු කලා
යොහාන් හින්දා අතරමං නොවී හොටෙල් එකක ගාල් වෙන්න අපිට පැය කීපයක් ගත වුණා.
තෙහෙට්ටුවටත් එක්ක මට නින්ද යන්න ඇති . මට මතක ඇඳ ට පැන්න කියලා විතරයි.

 ඊලඟ කොටස ලඟදීම..............

Tuesday, August 6, 2013

වෙස් මාරුව 06

රෑ පුරාම මට හරිහමන් නින්දක් නම් ආවේ නැහැ. බයවෙලාද?දුකෙන්ද ? කියලා හිතාගන්න බැරි තරමට හිත විසිරිලා තිබුණේ. මේ ගෙදර අයට මගේ වෙනස දැනිලා කියලා මට දැන් ශෙවාන්ගේ අම්මගේ තාත්තගේ මුහුණ දකින  හැමවෙලේම  දෙගිඩියාවක් දැනුනා.
උදේම හරිබරි ගැහිලා යොහාන් එක්ක එහෙට මෙහෙට දුවලා ලංකාවට යන වැඩේ හරිගස්වා ගන්න සෑහෙන්න වෙහෙසිලා හති වැටුනට පස්සේ මං ගියා මගේ ගැලවුම්කාරිට පිංසෙන්ඩු වෙන්න. යොහාන් උගන්වපු විදියට මං ටියානා ව අන්දවන්නයි යන්නේ.
හිතට එකඟව මගේ හිතේ මේ කරන රැවටීමට කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් මගේ ගැලවීමට මට මේ දේ කරන්න ම වෙනවා.
සමාවෙන්න ටියානා...
ඒත් ඔයා ශෙවාන්ට සමාව දුන්නත් මට නම් කවම දාකවත් සමාවක් දෙන්නේනැති වේවි නේද?

“දැන්  උඹ ශෙවින්ද්‍යාවමද බඳින්නේ? එතකොට ටියානා?? ඈ..බං, උඹ හිතනවද විදුර උඔට නිකං ම ශෙවී දිල අත පිහදං ඉඳී කියලා? ශෙවී උනත් විදුර දාලා එයිද බං? ටිකක් හිතපංකෝ...“
යොහාන්  හිතාගෙන ඉන්නේ  මම ශෙවින්ද්‍යා බලන්න යනවා කියලා.  ඒත් මං මේකට කොහොම තේරැම් කරන්නද?  මං ඇහුන නෑහුන ගානට හිටියා.
“දැන් උඹ සිරාවටම ඒකිට ලව් මයිද? , මේ අවුරැදු පහට මොනවා වෙන්න බැයිද බං. කවුද දන්නේ ඒකි බැඳලා ළමයා ඉස්කෝලෙත් යනවද දන්නෑ.“ පිස්සා වගේ කියව කියව මූ දිගටම පස්සෙන් ගෑටුවා.
“උඹ කෝකටත් ටොපි ටිකක් අරං පලයං ශෙවා..පොඩි එකෙක් උන්නොත් හිස් අතින් යන එක අවුලනේ.. “
 මම තවමත් නිහඬයි.
“මොනා උනත් ඒකි උඔට හිතලා බූට් තිබ්බෙ නෑනේ, ඇරත් විදුරයා ඉක්මන් උනෙත් උඹ එක්ක එගේන්ස් එකට ම වෙන්න ඇති“
“මගෙ විදුර එහෙම නෑ යකො!...“ මගේ ඉවසීමේ සීමාව පැන්න බව මට දැනුනේ මගේ අත් දෙක යොහාන්ගේ කමිස කොලර් එකේ කියලා දැනුනම.
“ඒ ශෙයියා මං උඹට විහිළුවට වගේ කිව්වේ . තද උනාද බං සොරි සොරි ,අතෑරපං කෝ බෙල්ල“
“එනවනං කට වහං වරෙන්“ මං තදින් කිව්ව උනත් මට දැන් ඉතුරැ වෙලා ඉන්නේ යොහාන් විතරයි කියලා මං හොඳටම දන්නවා.

ටියානා ගේ ගෙදර පොඩි ගේට්ටුව ඇරගෙන යනකොට පපුව ගැහෙන සද්දේ වැඩි උනා වගේ දැනුනා මට. මං යොහාන් ගේ අත මිරිකලා අල්ලගත්තේ  මමත් නොදැනුවත්ව මයි.
යොහාන් කින්ඩියට වගේ මට බැල්මක් දැම්මම, මං අත ගසලා දාලා දොරේ බෙල් එක ගැහුවා.

විනාඩියක් දෙකක් යනකල් කිසි හැලහොල්මනක් නැහැ.. ඒත් ටිකකින්, ලඟ ම තිබුණ ජනේලයේ තිරය මෑත් වෙනවත් එක්කම මං දැක්කා ටියානාගේ ඇස් දෙක.මාව දැක්ක ගමන් එයාගේ මූණට ආව හිනාවක්.ඇත්තටම කොල්ලෙක්ට කෙල්ලෙක්ගේ ලස්සන, කොච්චර ලස්සනට පේනවද දැනුනේ මට අද.

තත්පරයක් ගියේ නැහැ ටියානා දුවගෙන ඇවිත්  දොර ඇරපු ගමන් මගේ ඉන වටේට අත දාලා බදාගත්තා.මං ලැජ්ජාවෙන් රතු වෙන්න ඇති.
විසිත්ත කාමරේ පුටුවකට බර දීලා අපි වටෙන් ගොඩන් කතාව දැම්මා. වැඩේ කියන්නේ කටර් එක වගේ ඉඳපු යොහානයාගේ කට ට ඉබ්බෙක් දාලා වගේ මීක් සද්දයක් නැ උගෙන්. බැරිම තැන මං කතාව කියන්න මුල පුරන්න හදද්දිම යොහාන් තරප්පු පේලිය දිහා බැළුවම මාත් හැරිලා බැළුවා.
ජලභීතිකාව හැදුන මකරෙක් වගේ  ටියානාගේ අයියා, මගේ දයාබර මස්සිනා  වඩිනවා පෙනුනේ එතකොටයි. කොච්චර වීරයා උනත් මට හීන් දාඩියක් දැම්ම ඒ වෙලාවෙ නම්. මොකද මං කරල තිබුණ හපන්කමේ තරමේ හැටියට මූ මාව හමගහයි ද කියන චේතනාව මගේ හිතේ කැකෑරැණා.
මස්සිනා පොඩ්ඩ ,එක ගිණිකූරෙන් මාව පුච්චන්න වගේ බැල්මක් දාලා එයාගේ නංගි. මගේ එකම ගැලවුම් කාරිය “ටියා“ දිහා බැළුවා.
 ‘ටියා., මං යනවා. ඔයා තව පැයක් ඇතුලත එන්න ම ඕනේ“ මං එතන නෑ වගේ ගානක් වත් නැතුව ටියානාට ගෝරනාඩුව දාලා මගේ මස්සිනා පොඩ්ඩ දොට්ට බැස්ස.

“ම්.. හදිස්සියක් වගේ“  මං ඇහුවේ මස්සිනා ගියාද කියලා හරියටම දැනුනට පස්සේ. මං ටියානා එක්ක මිට කලින් වචන අහයක් වත් කතා කරලා නැහැ.ඒත් අද මට ගිරවා වෙන්න ම වෙනවා.
“ඒක රහසක්...“ ටියානා හුරතල් වෙන්න වගේ මං ලඟින් ම වාඩි උනා. කොහෙවත් තිබුණේ නැති ගැස්මක් එකපාරම මගේ පපුවට ආව. තවත් තතනමින් ඉන්නේ නැතව මං බකස් ගාලා කියලා දාන්න ඕනේ ආපු කාරනේ,
“ටියානා..,   මං.. මං පොඩි දවසකට ලංකාවට යන්න ආසාවෙන් ඉන්නේ.“ මං ටියානාගේ මූණට උඩින් පෙනුන ඔරලෝසුව දිහා බලාගෙන කිව්ව. ඒ එයාගේ ඇස් බලං කතාකරන්න තිබුණ බයට.
ඇස් ලොකු කරගෙන එයා මං දිහා බලං හිටියා පුදුමෙන්.
“ඇයි හදිස්සියෙන් ම..“  හිතුව වගේම මුල්ම ප්‍රශ්නේ උනේ ඒක.
“එයාලට මොනවා උනාද දැනගන්නේ නැතුව මට ඉන්න බැ ටියානා..“ මං කිව්වේ අවංකවමයි.
“අනික මං යොහාන් එක්කගෙන යනවා“ මං මගේ තුරැම්පුව ගැහුවා.
ටියානා එකපාරම බැල්මක් දැම්මා යොහාන් දිහාට.
“ආ.. මේ ඔව් ඔව් මාත් යනවා. “යොහාන් කිව්වා පුරුදු කරපු පෙත්තා වගේ. ඒත් ටියානා ඒකෙන් සෑහිමකට පත් වුණේ නැහැ වගේ.
“ඉතින් ඇයි මට බැරි?“
හරිනේ .....ඇහුවනේ ..... හිර උනානේ...... මං මටම හිතෙන් කියා ගත්තා. ගලපපන් ශෙවී ගලපපන්.... හිත උත්තර හොයන මෙහෙයුමකට ඔට්ටු උනා.
“දැන් ම තනි පංගලමේ ජෝඩු දාලා යනවද මං අහන්නේ? මැරි කරනපුවම ඉන්නම උනත් යන්න බැරියැ ටියානා“ යොහාන් මාව බේරගත්තා.
“ඒත්..ම්හ්.. අනේ කී දවසකටද?“  ටියානා වැඩේ අමාරැ කරයි වගේ.....
“සති දෙකයි. ඇහැපිය ගහන පමාවෙන් එක ගෙවෙයි බබී“   ඒක මගේ කටින් පැන්න කිව්වොත් හරි.
“ගෙදරින් මොකද කිව්වේ?“ ටියානා ආවා අපේ මාතෘකාවට.
“ඔයා කිව්වොත් මට යන්න නොදී ඉන්න එකක් නැහැ ටියා.., මට එයාලා බලන්න ඕනේ“  මං ටියානා ගේ අත් දෙක අල්ලගෙන කතා කරගෙන ගියා.
“මගේ යාළුවෝ. අම්මා.. එයාලාට මක් උනාද මං දන්නේ වත් නැනේ. මට මෙහෙට වෙලා මෙහෙම ඉන්න බැහැ ටියානා ? “
මං කියාගෙන ගියේ ශෙවාන්ගේ අම්මාගේ තාත්තා ගේ මූහුණු බොඳකරගෙන මගේ අම්මගේ මූණ මවාගන්න හදන ගමන්.
“ අම්මා ?“  ටියානා පුදුමෙන් කිව්වා.
“අහන්න ටියානා,ඔයා මොනා හරි කියලා අපේ ගෙදර ෂේප් කරලා දෙන්න.. මට වෙන කියන්න කෙනෙක් නැහැ. ඔයාට පුළුවන් නම් මට උදව් කරන්න ටියා.. එයාලා ඔයා කිව්වොත් ප්‍රශ්න දාන්නේ නැහැ“
ටියානා ගේ අත් අතහැරලා මම එයාගේ වචන නෑහුනා වගේ කියාගෙන ගියා.
තත්පරයක් දෙකක් නිහඞව හිටපු ටියානා හඞ විවෘත කලා.  එයා මට දැනුනේ නම් කල්පයක් නිහඞ උනා වගේ.
“හරි..මං හවස ඇවිත් කතා කරන්නම්..“ මගේ අත් දෙක එයාගේ ඇඟිලි අස්සේ හිර උනා.
“ සති දෙකයි හැබැයි.“ ටියානා මගේ මූණට එබිලා කිව්වා.. මට ආපු සතුට පිටකරේ ටියානාගේ කම්මුලක් ඉඹලා. ඒ තමයි අම්මා ඇරැණ ම මං ඉඹපු පලවෙනි කෙල්ල.

*********
යොහාන් ඉතිං ගෙදර එනකං ආයෙත් කටර් එක වගේ කියවන්න ගත්තා. “ කොහොමද මගේ අයිඩියාව. ගින්දර නේද? “
“ගින්දරක් මන්දා වැඩේ වෙනකං මට සුවර් නැ බං“ මං කිව්වා.
“පැහෙන්නැතුව ඉඳපංකෝ. ටියා වැඩේ දෙයි නූලට.“
“හැබැයි ශෙවා.. මං අද තමා උඹ ටියානා එක්ක ප්‍රේම ජවනිකාවක් යනවා දැක්කේ..මේ...න් මෙහෙම අත අල්ලන්... මේ..න් මෙහෙම .. ලැජ්ජාවේ බෑ මට බලන් ඉන්නෙත් උනා නේ “යොහාන් මගේ ඇලපතට ඇන්නා .
“මොන ** දෙන්න හිතයි දත් දෙක බඩට යන්න. “  විරිත්තං ඉන්න යොහානයට කිව්ව මම. ඒ එක්ක ම බකස් ගාලා හිනාවක් පැන්නේ හිතෙන් කිලෝ ගානක බරක් පියාඹලා ගියා වගේ...

පොරොන්දු උන විදියටම ටියානා ආවා අපේ ගෙදර හවස් වරුවේ. මට මූණ දෙන්න තරම් ආත්ම ශක්තියත් නැති  හන්දා මම කාමරේට වෙලා දොරට කන තද කරන් හිටියා පහල වෙන දේවල් කනෙන් අහගෙන  හිතේ අඳින ගමන්.
කිසිම හාවත් හූවත් ඇහුනේනැහැ පැයක් දෙකක් ගත වෙලා ගියත්. ඉන්නම බැරි තැන ඕනේ කෙන්ගෙඩියක් කියලා මං කාමරෙන් එළියට ආවා. කෝ? සද්ද නෑ...
පහල ට ඇවිත් මං පටු කොරිඩෝව දිගේ හොර පූස වගේ විසිටින් රූම් එකට , “අම්මේහ්!“ අත් දෙකෙම්ම මගේ පපුව අල්ලං කෑගගෙන පස්සට පැන්නේ මෝහිණී දැකල නම් නෙවෙයි. කාමරේට ඇතුඵ වෙන්න හදනකොටටම ඇඟේ හැප්පුන ටියානාට බය වෙලා.
“කොහෙද මෝඩයෝ හොරෙක් වගේ එන්නේ, මං බය උනා හොඳටම .“ මං වගේම ටියානාත් බය වෙලා කියලා මට තේරුණා.

අම්මා ඈතින් එනවා දැක්කම ඇහැක් ගහලා ටියා මට ඉඟියක් කලා., “ආ පුතා ඇහැරිලාද?  මං හිතුවේ නිදි කියලා,“ අම්මා සොෆ්ට් ඩ්‍රින්ක්ස් එකක් අරගෙන ටියානා ගාවට ආවා.
“දෙන්න ම පරිස්සමෙන් ගිහින් එන්න ඕනේ හොඳද...“ අම්ම කිව්ව කතාවේ. මුල මැද අඟ ගලපගන්න බැරුව මං බයෙන් පිම්මබුණා කිව්වොත් හරි.
“මො.. මායි ටියා...නායි“ මං කිව්ව විදියට අම්මට හිනා ගියා.
ටක් ගාලා මගේ ලඟට ඇවිත් අතේ එල්ලුන ටියානා , අම්මට නොපෙනී මගේ අතේ හම ගැලවෙන තරමට  කෙනිත්තුවේ  මේ එයාගේ  ගැටයක්  කියලා ඒත්තු ගන්වන්න කියලා යාන්තමට වගේ මගේ ගොන් මොලේට මීටර් උනා. අම්මියෝව්.. ඒ පාර නම්  යන්තන් මගේ හදගැස්ම නෝමල් උනා.
“එහෙනම් කතා කර කර ඉන්නකෝ“  අම්මා එහෙම කියලා කාමරෙන් ගියා.
“වැඩේ හරි ශෙවාන්....“  ටියානා මාව බදාගෙන රහසෙන් කිව්වේ පොඩි එකෙක් ට ලෝකෙ ලොකුම  චොකලට් එකක් හම්බුණා වගේ .
“මේ.. හිතුනොත් මාත් එනවා. නැත්තං ඔයාට මං යන්න දෙන්නේ නැ“ එක එල්ලමෙ මගේ ඇස් දිහා බලං ඒකි එහෙම කිව්ව.
“පිස්සු හැදිලද?“ මං ඊට වඩා තද බැල්මක් දාන්නයි උත්සාහ කලේ.
“ටිකක්.“ මගේ කණ මිරිකලා ටියානා කාමරෙන් දිව්වා.
“මේකි නං හදන්න බෑ“.  මං මටම කියාගත්තා. බලමුකෝ...

**********
“ෆලයිට් එක හතයි තිහ ට මිසක් දහයට නෙවේ බං“ යොහාන් කෑගහනවා දොරෙන් එහා පැත්තේ ඉඳන්...
“ගෑණු සාරි අඳින වෙලාවක් උඹ කලිසම අඳිනවද ශෙවාන්? “ දැන් නම් යොහාන් ට රතු ඉර පැනලා වගේ.
“ගෙදර යනකොට ලස්සනට යන්න ඕනෙනේ යොහාන්... “ මං යොහාන්ගේ බඩටත් සෙන්ට් පාරක් ගහගෙන එලියට ආවා..
හුම්හ්.................... හිතේ හැම මුල්ලක් ම සන්තෝසෙන් පිරිලා ඉතිරිලා  වගේ  මට දැනුනේ. මේ ගෙදර ඉඳපු කාලයත් එක්ක බලද්දි, ඇත්තටම  මං  පණ පිටින් ඉන්නවා කියලා මට දැනුනේ අද.
“උඹ තව ම ඔතනද? මං බෑග් ටික වාහනේට දාලත් ඉවරයි.. උඹ  අද යනවද නැද්ද කියපං ශෙයියා.“ යොහාන් ලඟ තිබුණ පුටුවක් ඇදලා අරං ඉඳගත්තා. ඇත්ත තමයි පරක්කු වෙන්න වෙයි  තමා..
“මේ එනවා සුදෝ.....“ මං යොහාන්වත් ඇදගෙන එලියට යන්න හැරැණා ඒත් එක පාරම මං ගල් ගැහුණා.

“පුතේ,“  ශෙවාන් ගේ අම්මා දොර ගාව ඉඳන් තාත්තාත් එක්ක මං දිහා බලාගෙන ඉන්නවා.
“ඔටුවා වගේ ඉන්නෙ නැතුව වැඳපං යකෝ.. “ මගේ හිත එහෙම කියද්දි මං හිතට  කීකරැ වුණා.
“අනේ මගේ පුතේ, පරිස්සමෙන් ගිහින් ඉක්මනට එන්න. තාත්තායි මමයි බයයි ඔයා ආයෙත්...“ මාව තුරුළු කරගෙන ශෙවාන්ගේ අම්මා අඞන්න ගත්තා. මට අවංකවම දුක හිතුණා. මං මගේ ලොකේ රැක ගන්න යන්න හදන්නේ ඒ අහින්සකයෝ දෙන්නගේ ලොකේ ම බිඳලා දාලා නේද?   ඒත්. මගේ අම්මව ,මගේ විදුරව අමතක කරලා කොහොම ද මං මේ දෙන්නගේ ලෝකේ විතරක් ලස්සන කරගෙන ඉන්නේ.?
හිතේ තිබුණ සැහැල්ලුව කොහෙන් ගියාද මන්දා .
“මොනවා උනත් මං මේ අම්මයි තාත්තවයි අතහරින්නෙත් නැහැ“ කඳුළු ඇහේ අඟටම ආවත් මං එහෙම හිතලා හිනා උනා.  “අම්මේ..“   මට කියන්න ඕනේ උනා.. මං ඒ දෙන්නටත් ආදරේ බව.

“බය වෙන්න එපා ආන්ටි, මං ශෙවාන් ලඟ ම ඉන්නවනේ, මං පොරොන්දු වෙනවා මේ මෝඩයාව ඉක්මනටම ගෙදර අරං එනවා කියලා..“

ටියානා............... ඒ ටියානා ගේ කටහඞ, දෙයියනේ මේ කෙල්ල මොනාද මේ කරන්න හදන්නේ?
හොඳට ඇස් ඇරලා බැළුවා මම, මේ දකින්නේ හීනයක් ද කියලා.. මං වගේම යොහානුත් කලබල වෙලා කියලා මට උගේ මූණෙන් පෙනුනා.

““කොහෙන්ද  ශෙයියෝ මේ ලෙඩේ ,මේ වෙලාවෙම පාත් උනේ??“ යොහාන් මගේ කනට කෙදිරුවා.

“ටියා..! “ මං යන්තන් අකුරු දෙකක් අමුණගත්තා.
“හාහා කතා ඇති අනේ.. පරක්කු වෙයි....යමුකෝ ශෙවාන්....ඉක්මනට ගියාම ඉක්මනට එන්න පුළුවන්, යොහාන් මගේ බෑග් දෙකත් වාහනේට දාන්නකෝ...“