වෙස් මාරුව - 8

පැයගානක් දුර ගෙවාගෙන මං මගේ ගමට ආවා. කොච්චර නම් වෙනස් වෙලාද, මනුස්සයෝ වගේම ගහකොලත් මාව නන්නාදුනන විදියටයි මං දිහා බැළුවේ.
 හිත දිව්වා මගේ සුන්දර අතීතයට. හිතුවක්කාර පොඩි කෙල්ලක් විදියට ජීවිතය වින්ද අතීතෙට,  වැලිකැටයක් ගානේ මගේ දගකාර මතකයන් රැඳිලා ඇති, විදුරගේ අතේ දැවටිලා මේ හැම පාරකම මං ගිය හැටි. යාළුවෝ එක්ක වටවෙලා ඉඳපු හැටි,
“ක්රාස්..!!“
 හරස් පාරකින් ස්කූටර් එකක ආව ගොන් කෙල්ලක් වට පිට නොබලාම මං ආව වෑන් එකේ මූනටම බයික් එක දැම්මා.
“අනූනමෙන් ගියේ නංගි, කවුද ලයිසන් දුන්නේ බාප්පද?“
බ්රේක් එකේ නැගගෙන වෑන් ඩ්‍රයිවර් පත්තු වෙලා කෑගහුවා.
“ඔහොම පාරේ යන්නේ මීනී මරන්න ද?“
“සොරි අයියේ..“ හුරුපුරුදු කටහඬක්..
“සචී................“

මං වාහනේ දොරත් ඇරගෙන එලියට පැන්නා. දෙයියනේ අනතුරෙන් සචීට මොනවත් ම වෙලා නැහැ. මට දැනුන සතුට වචනෙන් කියන්න කවදාවත්ම බැරි වේවි.
ඒත් මගේ මූණ දිහා බලපු සචී, එකපාරින් ස්කූටිය ස්ටාර්ට් කරගෙන යන්න ගියා. ඒ ඇයි මගේ එක්ක එකටම ඉඳපු සචී ඇයි මෙහෙම ගියේ. එයාගේ හොඳම යාළුවා ශෙවී.. අනේ, සචී මං කොහොමද කියන්නේ මේක, මේ මං ..........
“ඒ මොකද ඒ..,  මහත්තයා ඒ ගෑනූළමයා දන්නවාද?“
“දැනන් හිටියා..“ ලොකු හුස්මක් පපුවේ හිර වෙලා වගේ දැනුනා මට.
“අපි යං.. “ මං ආපහු වාහනේට ගොඩවුණා. ඈතින් සචී නොපෙනී යනවා බලාගෙන මම ආයෙමත් කල්පනාවට වැටුණා.
ඉතිරි දුර මගේ කිසි කතාවක් නැතිව නිහඩවම ගෙවීගෙන ගියා. ආයෙමත් හදීසියේම පපුවේ ගැස්ම වැඩි වේගන එනවා වගේ දැනුනේ මගේ ගෙදර, දිරාගෙන යන ගේට්ටු පියන් ඇහැගැටුනාමයි. හෙමීහිට වාහනේ  ගේට්ටුව ගාවෙන් නවත්වලා, මගේ බෑග් එකත් අරගෙන වාහනේ හයර් එක ගෙවලා ගේ පැත්තට හැරුනේ හිතේ ලොකු තිගැස්මකින්.
අවුරුදු පහක්. මොනවා වෙනස් වෙන්න බැරිද? අම්මා ? විදුර?...
සචීගේ ප්‍රතිචාරයෙන් මගේ හිත කැලඹිලා ගිහින්. කමක් නැහැ. යථාර්තයට මුහුණ දෙන්නම වෙනවා. වමතට බෑග් එක අරගෙන දකුනෙන් ගේට්ටු පියනට තල්ලුවක් දුන්නේ ලොකු හුස්මක් අරං.
කන් අඩි හිරිවට්ටන සද්දෙකින් ගේට්ටු පියනක් විවර උනා..
වෙනදා මල් වවලා ලස්සනට තිබුණ අඩිපාර අද වල් වැදිලා. තණකොල වෙනුවට වල්පැල හැදුන පටු පාරේ, තියන-තියන අඩියක්-අඩියක් ගානේ මට මගේ පුංචි කාලේ මැවුනා.
අම්මා බත් කවන්න පන්නන හැටි, මං ඉස්කෝලේ ගිහින් එනකල් අම්මා මඟ බලන් ඉන්න හැටි, අම්මාගේ අතේ එල්ලිලා මේ පාරේ ඇවිදන් ගිය හැටි.. මුලින්ම බයික් එකක් අරං දීපු දවසේ මේ අඩි පාරේ මං වේගෙන් ඇවිත් බ්රේක් කරපු හැටි. අම්මා එදා මගේ කනත් මිරිකුවා. විදුර ව අම්මට පෙන්වන්න එක්කගෙන ආව හැටි..
පපුවේ හිර උන දෙයක් උගුරටම ඇවිත් මට ආයෙ හුස්ම ගන්න එපා කියනවා වගේ දැනුනා.

බෑග් එක එතනම බිම අතහැරලා දාලා ඇස් ඉස්සරාම පේන මගේ ගෙදරට දිව්වා. අම්මා ගාව වැඳ වැටිලා හැමදේම කියන්න ඕනේ මට..හැමදේම ... මේ ලෝකේ මාව දන්න එකම කෙනා අම්මා ඉතින් අම්මා මාව තේරුම් ගන්නේනැහැ කියන්නේ කවුද?

දොර ගාව නැවතිලා බෙල් එක ගැහුවා. ගැහුවා නෙවේ ඔබාගෙනම හිටියා කිව්වොත් නිවැරදියි.
“කවුරුවත් නෑ......“ ඇතුලෙන් කටහඬක් ආවා.
මං ආයෙමත් සීනුව ඔබාගෙනම හිටියා.
“කවුද වදේ....නෑ කිව්වම අහන්න බැරිද?“ ඒ පාර ලඟින් ඇහුණ කටහඬ මගේ අම්මගේ නම් නෙවෙයි.

“මේ දොර අරිනවා අයිසේ පවු දෙන්නේ නැතුව, මට අම්ම බලන්න ඕනේ “
ඉවසීමේ නාමයක් නැති මම කෑගැහුවා.
මොහොතක් දෙකක් ගතවෙන්න ඇති.. ඒත් ඒක මගේ ඉවසීමට කල්පයක් දෙකක්..
කිරිකිරියක් දාලා දොරත් බැරි බැරි ගානේ විවර උනා. මනුස්සයා කවුද බලන්න වත් නතරනොවී විවර උන පොඩ්ඩෙන් මම ගෙට පැන්න.
“කවද කවුද මේ.. “ අවුරුදු හැට හැත්තෑවකට වැඩි, වයසක කෙනෙක් මං ඉස්සරහා හිටියා.
“අනේ ආච්චියේ මං ආවේ අම්ම බලන්න.. කෝ කොහෙද?,කොහෙද? මගේ අම්මා. කියනවා මනුස්සයෝ......................“ මං පිස්සෙක් වගේ උනා වෙන්න ඇති.

බයෙන් වගේ බලපු ඇය, උඩ තට්ටුවට අත දික්කරලා ඒ මනුස්සයාත් ඉක්මන් ගමනෙන් තරප්පු පෙල නැග්ගා.
“ලොකු නෝනෙට උන්නේ ගැහැණු ළමෙක් විතර ලුනේ..“ යන ගමන් ඈ කුටු කුටු ගානවා ඇහුණා.
මං උත්තර බඳින්න ගියේ නැහැ.
පටු කොරිඩෝවේ දෙවෙනි කාමරේක දොරක් ඇරලා මට ඇතුළුවෙන්න සන් කලා.

පිලිවෙලට ඉන්න අම්මා කවදත් කැමතියි. කාමරේ තිබුණ පිලිවෙල දකිනකොට මට ආපහු මගේ ජීවිතේ ලැබුණා, මගේම තැනකට ආවා වගේ හැඟිමක් ආවා. ඇස් පියගෙන හුස්මක් අරං ඇස් ඇරලා  මං අම්මව හෙව්වා.
ඒත්...................
“දෙයියනේ මගේ අම්මා..!! “

**********

මං අම්මගේ කකුල් දෙක ඉඹගෙන ඇඬුවා. කඳුළු දෝරේ ගිහින් මගේ පපුව තෙමෙනකොට හුස්මක් ගන්න වත් බැරිව පපුව රිදෙනකොට ඒ ගැන නොතකා මං හිතේ හැමදේම කියලා කෑගගහ ඇඬුවා.  රෝද පුටුවේ පාමුල දණ ගහගෙන මම මාවම පහුරුගාගත්තා.
අම්මේ නැගිටින්නකෝ කියලා කකුල් අතගෑවේ දැන් නැගිටියි කියන බලාපොරොත්තුවෙන්. අත ඉඹගෙන කතා කලේ නිකමට වත් මූණ බලයි කියලා බලාපොරොත්තුවෙන්..
ඇඟට පණ නැති වෙනකල්ම පැයගානත්  පිස්සෙක් වගේ කියෙව්වා.. හිනා උනා..ඇඬුවා...ඒත් අම්මා ජනේලෙන් එපිට බලාගෙන හිටියේ ගල්පිලිමයක් වගේ.

අන්තිම කඳුළු බින්දුවටම ඇඬුවා.. ආයෙ අඬන්න මං දන්නේ නැ.. ඇස් දෙක ඉඳිමුන්බරව මට කියන්න ගත්තා. තියුණු රිදීමක් එක්ක ම.මං අම්මගේ කකුල් දෙක බදාගෙන ඉකිගගහ සිහියක් ඇති නැති ගානට ඉන්නකොට, වයසක ගැහැනු කෙනා ඇවිත් මගේ ඔළුව අතගෑවා.
“ මේ යක්කු ඉරිසියාවට මයෙ පුතාට අම්මා ගැන නොදොඩඩා ඉන්ට ඇති මයෙ හිතේ. නැත්තං බේබි මැරිලා අවුරැදු ගානකුත් වෙලානේ දැන් . සේරම වෙලා අහවර උනාමයි  ඔය මහත්තයා ආවේ.“
මං ගාවෙන්ම බිම වාඩි වුණ ඇය කියාගෙන ගියා.
“ දේපල සේරම මේ මහත්තයටනේ ඉතින් එහෙනම්. ආයෙ දෙකක් නෑ නෑයෝ සන්හතිය යටිමඩි ගහල කොල්ල කන්න තනන්න ඇත්තේ. , ලැබීම වලක්කන්න බෑනේ මහත්තයෝ. දැන් ඉතින් ලොකු නෝනේ බලාගෙන, වතුපිටිත් බලාගෙන ඉන්ටයි තියෙන්නේ.“

“මගේ අම්මට මොකද උනේ “ මං අම්මා ගෙන් ඇහැ අහකට නොගෙනම ඇහුවා.

“බේබි නැති වුණා දැනගත්තාම සිහිනැතිව වැටුණලු. දවස් ගානක් සිහි ආවෙ නැතැයි ලු නේ. එතකොට තමා විදුර මහත්තයා මාව මෙහාට ගෙනත් බාර දුන්නේ.
ඉස්පිරිතාලෙන් ගෙදර ගෙනත් ටික දවසකින් එකපාරම කල්පනාව නැති උනා. පස්සෙන් පහු වෙද්දි ඇවිදගන්න බැරි උනා. ඒ එක්කෝම කතාවත් නැති උනා. දැන් හැමදාම බලාගත්ත අත බලාගෙන පුටුවේ ඉඳන් අහස පොලෝ ගැටගහන්න කල්පනාව.“
“ දොස්තරලා නං කියව්වේ අංශබාගෙට යි කියලා. නහරයක් මොකද්ද වෙලාලු. ඔපරේසන් එකක් කරාට  මේ වෙනකන් නං ගුණයක් නෑ.“

“කවුද වෙන අම්මා බලාගන්න ඉන්නේ“
“උදේ වරුවේ අපේ උයන පිහින කෙලී එනවා. ඉතිරිය මං තමා  සේරම කොරන්න ඉන්නේ. කොච්චර උනත් මං නෝනේ ඇහැ වගේ බලාගන්නවා මහත්තයෝ. දරු කැක්කුමට වුණ දෙයක් මිසක් හිතලා කර ගත්ත දෙයක් යැ.“
ඈ උන් තැනින් නැගිටලා මගේ ඔළුවට අත තිබ්බා.
“යං මහත්තයා පහලට, බඩගින්දරත් ඇතිනේ.. දැන් ඉතින් හිත හදාගන්ට. වෙන්න තියන දේ වලක්කන්න බෑනේ මහත්තයෝ. නෝනෙගේ වාසනාවට මහත්තයා දැන් වත් ආවේ.“
“ මං අම්මා ගාව ඉන්නං “ මං කිව්වා. මට නැගිටලා යන්න ඇඟට පනක් නැහැ. යන්න උවමනාවකුත් නැහැ.. අම්මේ මට මෙහෙම අම්මා දකින්න වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ මගේ අම්මේ.. අනේ කතාකරලා හිනාවෙන්නකෝ. මට මේතරං විඳවන්න බැහැ. මොන පවක්ද මේ මට උනේ..

දෙතුන් පාරක් ඇවිත් , වදෙන් පොරෙන් මාව පහලට එක්කගෙන ගිහින් ‘ඩිංගිරි අම්මා‘ අපේ අම්මා බලාගන්න ඉන්න කෙනා, මට බත් කටක් වත් කන්න පෙරැත්ත කලා. එක කටක්  යන්තං ගිලගත්තත් ඒකත් හිරඋනේ අම්මා පොඩි කාලේ කවපු හැටි මතක් වෙලා.
මට ජීවත් වෙන්න තිබුණ එකම බලාපොරොත්තුව අම්මයි, විදුරයි. ඒත් අද?? මං අසරණ කලේ ඇයි දෙවියනේ මේ තරමටම.
“ඩිංගිරි අම්මේ, විදුර දැන් මොකද කරන්නේ “ .  මං ඇහුවේ එකපාරම විදුර මතක් වෙලා.
“ඒ මහත්තයත් සෑහෙන දුකෙන් ඉන්නේ මහත්තයෝ..අර නැති වුණ බේබි බඳින්න උන්නේ ඒ මහත්තයලුනේ. ගුණයහපත් මනුස්සයා මහත්තයෝ. තමන්ගේ අම්මට වගේ ආදරෙයි අපේ නෝනෙට.නිතර නොඑන්නේ බේබි මතක් වෙන හන්ද මයෙ හිතේ. ඒත් හැමදේම හොයා බලනවා. අපේ මහත්තයා ඒ දරැවාව දන්නවයි? “
“ හම්..  ඒත් මට මහත්තයා කියන්න එපා.ඩිංගිරි අම්මේ“  මට ඒ වචනේ එක්ක හිත පෑරෙනවා වැඩියි කියලා ඒ මනුස්සයා දන්නේ නැහැනේ.
 රෑ වෙලා අම්මගේ සුප් කෝප්පේ මගේ අතෙන් අම්මට පොවන්න ලැබුණා, සතුටට දුකට හැමදේටම ඇසිපිය විතරක් එකම ප්‍රතිචාරය විදියට පෙන්වන මගේ අම්මා. කොහොම ඉඳපු කෙනෙක් ද?
අද මේ සේරම මෙහෙම උනේ කාගේ වරදින් ද කියලා මම දන්නේ නැහැ.
ඒත් හැමදේම අමතක කරලා, අම්මා වෙනුවෙන් පුලුවන් හැමදේම කැපකරන්න මං තීරනේ කලා.
දැන් මට තියන එකම සැනසීම, අම්මා බලාගන්න එක විතරක් ම නිසා.....

අනේ විදුර ඔයා වත් මට නැති වේවිද?

Comments

Popular posts from this blog

අද ඇයගේ උපන් දිනයයි!!!!

ආදරය = (වේදනාව + වැලපීම + වැනසීම) / (ඉවසිම + බුද්ධිය) x සැනසීම

ආත්මගත බැඳීම - සහෝදරකම