වෙස් මාරුව 06

රෑ පුරාම මට හරිහමන් නින්දක් නම් ආවේ නැහැ. බයවෙලාද?දුකෙන්ද ? කියලා හිතාගන්න බැරි තරමට හිත විසිරිලා තිබුණේ. මේ ගෙදර අයට මගේ වෙනස දැනිලා කියලා මට දැන් ශෙවාන්ගේ අම්මගේ තාත්තගේ මුහුණ දකින  හැමවෙලේම  දෙගිඩියාවක් දැනුනා.
උදේම හරිබරි ගැහිලා යොහාන් එක්ක එහෙට මෙහෙට දුවලා ලංකාවට යන වැඩේ හරිගස්වා ගන්න සෑහෙන්න වෙහෙසිලා හති වැටුනට පස්සේ මං ගියා මගේ ගැලවුම්කාරිට පිංසෙන්ඩු වෙන්න. යොහාන් උගන්වපු විදියට මං ටියානා ව අන්දවන්නයි යන්නේ.
හිතට එකඟව මගේ හිතේ මේ කරන රැවටීමට කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. ඒත් මගේ ගැලවීමට මට මේ දේ කරන්න ම වෙනවා.
සමාවෙන්න ටියානා...
ඒත් ඔයා ශෙවාන්ට සමාව දුන්නත් මට නම් කවම දාකවත් සමාවක් දෙන්නේනැති වේවි නේද?

“දැන්  උඹ ශෙවින්ද්‍යාවමද බඳින්නේ? එතකොට ටියානා?? ඈ..බං, උඹ හිතනවද විදුර උඔට නිකං ම ශෙවී දිල අත පිහදං ඉඳී කියලා? ශෙවී උනත් විදුර දාලා එයිද බං? ටිකක් හිතපංකෝ...“
යොහාන්  හිතාගෙන ඉන්නේ  මම ශෙවින්ද්‍යා බලන්න යනවා කියලා.  ඒත් මං මේකට කොහොම තේරැම් කරන්නද?  මං ඇහුන නෑහුන ගානට හිටියා.
“දැන් උඹ සිරාවටම ඒකිට ලව් මයිද? , මේ අවුරැදු පහට මොනවා වෙන්න බැයිද බං. කවුද දන්නේ ඒකි බැඳලා ළමයා ඉස්කෝලෙත් යනවද දන්නෑ.“ පිස්සා වගේ කියව කියව මූ දිගටම පස්සෙන් ගෑටුවා.
“උඹ කෝකටත් ටොපි ටිකක් අරං පලයං ශෙවා..පොඩි එකෙක් උන්නොත් හිස් අතින් යන එක අවුලනේ.. “
 මම තවමත් නිහඬයි.
“මොනා උනත් ඒකි උඔට හිතලා බූට් තිබ්බෙ නෑනේ, ඇරත් විදුරයා ඉක්මන් උනෙත් උඹ එක්ක එගේන්ස් එකට ම වෙන්න ඇති“
“මගෙ විදුර එහෙම නෑ යකො!...“ මගේ ඉවසීමේ සීමාව පැන්න බව මට දැනුනේ මගේ අත් දෙක යොහාන්ගේ කමිස කොලර් එකේ කියලා දැනුනම.
“ඒ ශෙයියා මං උඹට විහිළුවට වගේ කිව්වේ . තද උනාද බං සොරි සොරි ,අතෑරපං කෝ බෙල්ල“
“එනවනං කට වහං වරෙන්“ මං තදින් කිව්ව උනත් මට දැන් ඉතුරැ වෙලා ඉන්නේ යොහාන් විතරයි කියලා මං හොඳටම දන්නවා.

ටියානා ගේ ගෙදර පොඩි ගේට්ටුව ඇරගෙන යනකොට පපුව ගැහෙන සද්දේ වැඩි උනා වගේ දැනුනා මට. මං යොහාන් ගේ අත මිරිකලා අල්ලගත්තේ  මමත් නොදැනුවත්ව මයි.
යොහාන් කින්ඩියට වගේ මට බැල්මක් දැම්මම, මං අත ගසලා දාලා දොරේ බෙල් එක ගැහුවා.

විනාඩියක් දෙකක් යනකල් කිසි හැලහොල්මනක් නැහැ.. ඒත් ටිකකින්, ලඟ ම තිබුණ ජනේලයේ තිරය මෑත් වෙනවත් එක්කම මං දැක්කා ටියානාගේ ඇස් දෙක.මාව දැක්ක ගමන් එයාගේ මූණට ආව හිනාවක්.ඇත්තටම කොල්ලෙක්ට කෙල්ලෙක්ගේ ලස්සන, කොච්චර ලස්සනට පේනවද දැනුනේ මට අද.

තත්පරයක් ගියේ නැහැ ටියානා දුවගෙන ඇවිත්  දොර ඇරපු ගමන් මගේ ඉන වටේට අත දාලා බදාගත්තා.මං ලැජ්ජාවෙන් රතු වෙන්න ඇති.
විසිත්ත කාමරේ පුටුවකට බර දීලා අපි වටෙන් ගොඩන් කතාව දැම්මා. වැඩේ කියන්නේ කටර් එක වගේ ඉඳපු යොහානයාගේ කට ට ඉබ්බෙක් දාලා වගේ මීක් සද්දයක් නැ උගෙන්. බැරිම තැන මං කතාව කියන්න මුල පුරන්න හදද්දිම යොහාන් තරප්පු පේලිය දිහා බැළුවම මාත් හැරිලා බැළුවා.
ජලභීතිකාව හැදුන මකරෙක් වගේ  ටියානාගේ අයියා, මගේ දයාබර මස්සිනා  වඩිනවා පෙනුනේ එතකොටයි. කොච්චර වීරයා උනත් මට හීන් දාඩියක් දැම්ම ඒ වෙලාවෙ නම්. මොකද මං කරල තිබුණ හපන්කමේ තරමේ හැටියට මූ මාව හමගහයි ද කියන චේතනාව මගේ හිතේ කැකෑරැණා.
මස්සිනා පොඩ්ඩ ,එක ගිණිකූරෙන් මාව පුච්චන්න වගේ බැල්මක් දාලා එයාගේ නංගි. මගේ එකම ගැලවුම් කාරිය “ටියා“ දිහා බැළුවා.
 ‘ටියා., මං යනවා. ඔයා තව පැයක් ඇතුලත එන්න ම ඕනේ“ මං එතන නෑ වගේ ගානක් වත් නැතුව ටියානාට ගෝරනාඩුව දාලා මගේ මස්සිනා පොඩ්ඩ දොට්ට බැස්ස.

“ම්.. හදිස්සියක් වගේ“  මං ඇහුවේ මස්සිනා ගියාද කියලා හරියටම දැනුනට පස්සේ. මං ටියානා එක්ක මිට කලින් වචන අහයක් වත් කතා කරලා නැහැ.ඒත් අද මට ගිරවා වෙන්න ම වෙනවා.
“ඒක රහසක්...“ ටියානා හුරතල් වෙන්න වගේ මං ලඟින් ම වාඩි උනා. කොහෙවත් තිබුණේ නැති ගැස්මක් එකපාරම මගේ පපුවට ආව. තවත් තතනමින් ඉන්නේ නැතව මං බකස් ගාලා කියලා දාන්න ඕනේ ආපු කාරනේ,
“ටියානා..,   මං.. මං පොඩි දවසකට ලංකාවට යන්න ආසාවෙන් ඉන්නේ.“ මං ටියානාගේ මූණට උඩින් පෙනුන ඔරලෝසුව දිහා බලාගෙන කිව්ව. ඒ එයාගේ ඇස් බලං කතාකරන්න තිබුණ බයට.
ඇස් ලොකු කරගෙන එයා මං දිහා බලං හිටියා පුදුමෙන්.
“ඇයි හදිස්සියෙන් ම..“  හිතුව වගේම මුල්ම ප්‍රශ්නේ උනේ ඒක.
“එයාලට මොනවා උනාද දැනගන්නේ නැතුව මට ඉන්න බැ ටියානා..“ මං කිව්වේ අවංකවමයි.
“අනික මං යොහාන් එක්කගෙන යනවා“ මං මගේ තුරැම්පුව ගැහුවා.
ටියානා එකපාරම බැල්මක් දැම්මා යොහාන් දිහාට.
“ආ.. මේ ඔව් ඔව් මාත් යනවා. “යොහාන් කිව්වා පුරුදු කරපු පෙත්තා වගේ. ඒත් ටියානා ඒකෙන් සෑහිමකට පත් වුණේ නැහැ වගේ.
“ඉතින් ඇයි මට බැරි?“
හරිනේ .....ඇහුවනේ ..... හිර උනානේ...... මං මටම හිතෙන් කියා ගත්තා. ගලපපන් ශෙවී ගලපපන්.... හිත උත්තර හොයන මෙහෙයුමකට ඔට්ටු උනා.
“දැන් ම තනි පංගලමේ ජෝඩු දාලා යනවද මං අහන්නේ? මැරි කරනපුවම ඉන්නම උනත් යන්න බැරියැ ටියානා“ යොහාන් මාව බේරගත්තා.
“ඒත්..ම්හ්.. අනේ කී දවසකටද?“  ටියානා වැඩේ අමාරැ කරයි වගේ.....
“සති දෙකයි. ඇහැපිය ගහන පමාවෙන් එක ගෙවෙයි බබී“   ඒක මගේ කටින් පැන්න කිව්වොත් හරි.
“ගෙදරින් මොකද කිව්වේ?“ ටියානා ආවා අපේ මාතෘකාවට.
“ඔයා කිව්වොත් මට යන්න නොදී ඉන්න එකක් නැහැ ටියා.., මට එයාලා බලන්න ඕනේ“  මං ටියානා ගේ අත් දෙක අල්ලගෙන කතා කරගෙන ගියා.
“මගේ යාළුවෝ. අම්මා.. එයාලාට මක් උනාද මං දන්නේ වත් නැනේ. මට මෙහෙට වෙලා මෙහෙම ඉන්න බැහැ ටියානා ? “
මං කියාගෙන ගියේ ශෙවාන්ගේ අම්මාගේ තාත්තා ගේ මූහුණු බොඳකරගෙන මගේ අම්මගේ මූණ මවාගන්න හදන ගමන්.
“ අම්මා ?“  ටියානා පුදුමෙන් කිව්වා.
“අහන්න ටියානා,ඔයා මොනා හරි කියලා අපේ ගෙදර ෂේප් කරලා දෙන්න.. මට වෙන කියන්න කෙනෙක් නැහැ. ඔයාට පුළුවන් නම් මට උදව් කරන්න ටියා.. එයාලා ඔයා කිව්වොත් ප්‍රශ්න දාන්නේ නැහැ“
ටියානා ගේ අත් අතහැරලා මම එයාගේ වචන නෑහුනා වගේ කියාගෙන ගියා.
තත්පරයක් දෙකක් නිහඞව හිටපු ටියානා හඞ විවෘත කලා.  එයා මට දැනුනේ නම් කල්පයක් නිහඞ උනා වගේ.
“හරි..මං හවස ඇවිත් කතා කරන්නම්..“ මගේ අත් දෙක එයාගේ ඇඟිලි අස්සේ හිර උනා.
“ සති දෙකයි හැබැයි.“ ටියානා මගේ මූණට එබිලා කිව්වා.. මට ආපු සතුට පිටකරේ ටියානාගේ කම්මුලක් ඉඹලා. ඒ තමයි අම්මා ඇරැණ ම මං ඉඹපු පලවෙනි කෙල්ල.

*********
යොහාන් ඉතිං ගෙදර එනකං ආයෙත් කටර් එක වගේ කියවන්න ගත්තා. “ කොහොමද මගේ අයිඩියාව. ගින්දර නේද? “
“ගින්දරක් මන්දා වැඩේ වෙනකං මට සුවර් නැ බං“ මං කිව්වා.
“පැහෙන්නැතුව ඉඳපංකෝ. ටියා වැඩේ දෙයි නූලට.“
“හැබැයි ශෙවා.. මං අද තමා උඹ ටියානා එක්ක ප්‍රේම ජවනිකාවක් යනවා දැක්කේ..මේ...න් මෙහෙම අත අල්ලන්... මේ..න් මෙහෙම .. ලැජ්ජාවේ බෑ මට බලන් ඉන්නෙත් උනා නේ “යොහාන් මගේ ඇලපතට ඇන්නා .
“මොන ** දෙන්න හිතයි දත් දෙක බඩට යන්න. “  විරිත්තං ඉන්න යොහානයට කිව්ව මම. ඒ එක්ක ම බකස් ගාලා හිනාවක් පැන්නේ හිතෙන් කිලෝ ගානක බරක් පියාඹලා ගියා වගේ...

පොරොන්දු උන විදියටම ටියානා ආවා අපේ ගෙදර හවස් වරුවේ. මට මූණ දෙන්න තරම් ආත්ම ශක්තියත් නැති  හන්දා මම කාමරේට වෙලා දොරට කන තද කරන් හිටියා පහල වෙන දේවල් කනෙන් අහගෙන  හිතේ අඳින ගමන්.
කිසිම හාවත් හූවත් ඇහුනේනැහැ පැයක් දෙකක් ගත වෙලා ගියත්. ඉන්නම බැරි තැන ඕනේ කෙන්ගෙඩියක් කියලා මං කාමරෙන් එළියට ආවා. කෝ? සද්ද නෑ...
පහල ට ඇවිත් මං පටු කොරිඩෝව දිගේ හොර පූස වගේ විසිටින් රූම් එකට , “අම්මේහ්!“ අත් දෙකෙම්ම මගේ පපුව අල්ලං කෑගගෙන පස්සට පැන්නේ මෝහිණී දැකල නම් නෙවෙයි. කාමරේට ඇතුඵ වෙන්න හදනකොටටම ඇඟේ හැප්පුන ටියානාට බය වෙලා.
“කොහෙද මෝඩයෝ හොරෙක් වගේ එන්නේ, මං බය උනා හොඳටම .“ මං වගේම ටියානාත් බය වෙලා කියලා මට තේරුණා.

අම්මා ඈතින් එනවා දැක්කම ඇහැක් ගහලා ටියා මට ඉඟියක් කලා., “ආ පුතා ඇහැරිලාද?  මං හිතුවේ නිදි කියලා,“ අම්මා සොෆ්ට් ඩ්‍රින්ක්ස් එකක් අරගෙන ටියානා ගාවට ආවා.
“දෙන්න ම පරිස්සමෙන් ගිහින් එන්න ඕනේ හොඳද...“ අම්ම කිව්ව කතාවේ. මුල මැද අඟ ගලපගන්න බැරුව මං බයෙන් පිම්මබුණා කිව්වොත් හරි.
“මො.. මායි ටියා...නායි“ මං කිව්ව විදියට අම්මට හිනා ගියා.
ටක් ගාලා මගේ ලඟට ඇවිත් අතේ එල්ලුන ටියානා , අම්මට නොපෙනී මගේ අතේ හම ගැලවෙන තරමට  කෙනිත්තුවේ  මේ එයාගේ  ගැටයක්  කියලා ඒත්තු ගන්වන්න කියලා යාන්තමට වගේ මගේ ගොන් මොලේට මීටර් උනා. අම්මියෝව්.. ඒ පාර නම්  යන්තන් මගේ හදගැස්ම නෝමල් උනා.
“එහෙනම් කතා කර කර ඉන්නකෝ“  අම්මා එහෙම කියලා කාමරෙන් ගියා.
“වැඩේ හරි ශෙවාන්....“  ටියානා මාව බදාගෙන රහසෙන් කිව්වේ පොඩි එකෙක් ට ලෝකෙ ලොකුම  චොකලට් එකක් හම්බුණා වගේ .
“මේ.. හිතුනොත් මාත් එනවා. නැත්තං ඔයාට මං යන්න දෙන්නේ නැ“ එක එල්ලමෙ මගේ ඇස් දිහා බලං ඒකි එහෙම කිව්ව.
“පිස්සු හැදිලද?“ මං ඊට වඩා තද බැල්මක් දාන්නයි උත්සාහ කලේ.
“ටිකක්.“ මගේ කණ මිරිකලා ටියානා කාමරෙන් දිව්වා.
“මේකි නං හදන්න බෑ“.  මං මටම කියාගත්තා. බලමුකෝ...

**********
“ෆලයිට් එක හතයි තිහ ට මිසක් දහයට නෙවේ බං“ යොහාන් කෑගහනවා දොරෙන් එහා පැත්තේ ඉඳන්...
“ගෑණු සාරි අඳින වෙලාවක් උඹ කලිසම අඳිනවද ශෙවාන්? “ දැන් නම් යොහාන් ට රතු ඉර පැනලා වගේ.
“ගෙදර යනකොට ලස්සනට යන්න ඕනෙනේ යොහාන්... “ මං යොහාන්ගේ බඩටත් සෙන්ට් පාරක් ගහගෙන එලියට ආවා..
හුම්හ්.................... හිතේ හැම මුල්ලක් ම සන්තෝසෙන් පිරිලා ඉතිරිලා  වගේ  මට දැනුනේ. මේ ගෙදර ඉඳපු කාලයත් එක්ක බලද්දි, ඇත්තටම  මං  පණ පිටින් ඉන්නවා කියලා මට දැනුනේ අද.
“උඹ තව ම ඔතනද? මං බෑග් ටික වාහනේට දාලත් ඉවරයි.. උඹ  අද යනවද නැද්ද කියපං ශෙයියා.“ යොහාන් ලඟ තිබුණ පුටුවක් ඇදලා අරං ඉඳගත්තා. ඇත්ත තමයි පරක්කු වෙන්න වෙයි  තමා..
“මේ එනවා සුදෝ.....“ මං යොහාන්වත් ඇදගෙන එලියට යන්න හැරැණා ඒත් එක පාරම මං ගල් ගැහුණා.

“පුතේ,“  ශෙවාන් ගේ අම්මා දොර ගාව ඉඳන් තාත්තාත් එක්ක මං දිහා බලාගෙන ඉන්නවා.
“ඔටුවා වගේ ඉන්නෙ නැතුව වැඳපං යකෝ.. “ මගේ හිත එහෙම කියද්දි මං හිතට  කීකරැ වුණා.
“අනේ මගේ පුතේ, පරිස්සමෙන් ගිහින් ඉක්මනට එන්න. තාත්තායි මමයි බයයි ඔයා ආයෙත්...“ මාව තුරුළු කරගෙන ශෙවාන්ගේ අම්මා අඞන්න ගත්තා. මට අවංකවම දුක හිතුණා. මං මගේ ලොකේ රැක ගන්න යන්න හදන්නේ ඒ අහින්සකයෝ දෙන්නගේ ලොකේ ම බිඳලා දාලා නේද?   ඒත්. මගේ අම්මව ,මගේ විදුරව අමතක කරලා කොහොම ද මං මේ දෙන්නගේ ලෝකේ විතරක් ලස්සන කරගෙන ඉන්නේ.?
හිතේ තිබුණ සැහැල්ලුව කොහෙන් ගියාද මන්දා .
“මොනවා උනත් මං මේ අම්මයි තාත්තවයි අතහරින්නෙත් නැහැ“ කඳුළු ඇහේ අඟටම ආවත් මං එහෙම හිතලා හිනා උනා.  “අම්මේ..“   මට කියන්න ඕනේ උනා.. මං ඒ දෙන්නටත් ආදරේ බව.

“බය වෙන්න එපා ආන්ටි, මං ශෙවාන් ලඟ ම ඉන්නවනේ, මං පොරොන්දු වෙනවා මේ මෝඩයාව ඉක්මනටම ගෙදර අරං එනවා කියලා..“

ටියානා............... ඒ ටියානා ගේ කටහඞ, දෙයියනේ මේ කෙල්ල මොනාද මේ කරන්න හදන්නේ?
හොඳට ඇස් ඇරලා බැළුවා මම, මේ දකින්නේ හීනයක් ද කියලා.. මං වගේම යොහානුත් කලබල වෙලා කියලා මට උගේ මූණෙන් පෙනුනා.

““කොහෙන්ද  ශෙයියෝ මේ ලෙඩේ ,මේ වෙලාවෙම පාත් උනේ??“ යොහාන් මගේ කනට කෙදිරුවා.

“ටියා..! “ මං යන්තන් අකුරු දෙකක් අමුණගත්තා.
“හාහා කතා ඇති අනේ.. පරක්කු වෙයි....යමුකෝ ශෙවාන්....ඉක්මනට ගියාම ඉක්මනට එන්න පුළුවන්, යොහාන් මගේ බෑග් දෙකත් වාහනේට දාන්නකෝ...“

Comments

Popular posts from this blog

අද ඇයගේ උපන් දිනයයි!!!!

ආදරය = (වේදනාව + වැලපීම + වැනසීම) / (ඉවසිම + බුද්ධිය) x සැනසීම

ආත්මගත බැඳීම - සහෝදරකම