Tuesday, December 30, 2014

අද ඇයගේ උපන් දිනයයි!!!!

ගේ ජීවිත කතාවේ කථා නායිකාව ඇයයි.මගේ සිහින රාජ්‍යයේ මහා රැජින ඇයයි.  මගේ එකම හොයුරිය -  මිතුරිය වගේම මගේ  මුල් ගුරුවරිය ඇයයි. සත්තකිම්ම මගේ ගෙදර ශ්‍රියාකාන්තාව ඇයයි. සම්පුර්ණයෙන්ම ඈ මගේ මුලු ජීවිතයේම නිර්වාණයයි.
මා අතිශොක්තියෙන් ඇය වර්ණා කිරීමට උත්සාහා කරමි. නමුත් මට කිසිම දිනයක ඈ හරිහැටි වර්ණා කරගැනීමට නොහැකි බව මා දනිමි. එහි කිනම් හෝ අඩුවක් තිබෙනු ඇත. ඒ තරමට ඈ මට අගනේය. ඇත්ත  මා එය ඇයට ඇඟවු අවස්ථා නැති තරම්ය. මා ඇයට නපුරුකම් කල අවස්ථා ගනන් කිරීමට මා නොදත් නමුත් මා එසේ කර ඇති බව මට විශ්වාසය. බොහෝ විට මා නොසිතා කියන වචනයකින් වුවද මා ඇගේ සිත රිදවා ඇති බව මට සෑහෙන කලකට පසු වැටහෙයි. නමුත් ඇය කිසිදා මා හා අමානාපව සිට නැත.
උපරිමය පැය කීපයකට සීමාවන අපේ ඇනුම් බැනුම් ,ඇගේ ගුටියකින් හෝ මගේ වැඳ වැටීමකින් අවසන් වේ.  මා ඇයට ආදරය කරමි. මේ ලියන මොහොතේ ඒ ආදරය කම්මුල් දිගේ රූරා යනමුත් ඒය නුඹ ඉදිරියේ පෙන්වීමට තරම් මම බොලඳ එකියක නොවෙමි. ඒ පෞර්ෂය, ශක්තිය මට ලැබුනේ ඇයගෙන්ය.

ඇය මට මුණ ගැසී බොහෝ කාලයක් ගතවිය. ඇය මට මුණගැසුන දින ඇගේ වත කෙසේ දැයි මට කිසි සේත්ම මතකයේ ඇඳි නැත. ඒ ගැන මා කණගාටු නොවෙමි. නමුත් මා එය මවාගැනීමට අද ද උත්සාහා කරමි.
මා ඈ දෙස මුල් වරට බලන විට ඇගේ දෑස දිදුලන්නට ඇති.රත් පැහැ පිරුන දෙතොලේ හිනාවක් පියකරුව ඇදෙන්නට ඇති...
ඇත්තටම ඇගේ දෑසම තෙත් වෙන්න ඇති. ඇයි දෑස විතරක්.. ඇගේ ලැමත් තෙත් වෙන්න ඇති.

ඇගේ ජීවිතයේ සෑම දිනයකම මා ඇගේ දුක සැප බෙදාගත්තේ නැති වග සැබෑය. නමුත් ඇගේ ජීවිතයේ වේදනාබරම අවස්ථාවේ මාද බෙරිහන් දී අඩන්නට ඇත.
ඇගේ වේදනාවේ වතගොත කිසිත් නොදැන , පෙනහල්ලේ වායු හුවමාරුවේ පලමු ක්‍රියාව ඇරඹිමේ වේදනාවෙන් හෝ මාද ඈ සමඟ හැඬිමට හවුල් වෙන්නට ඇත. බොහෝවිට මාගේ ඇඬුම් හඬින් ඇගේ වේදනාව අමතක වන්නට ඇත. සමහරවිට ඈ අඬමින් සිනාසෙන්නටද ඇත. නමුත් මා මෝඩයෙකු මෙන් දිගටම අඬන්නට ඇත. මක්නිසාද
මා සිනාසෙන්නට ඒවන විට නොදැන හිටි බැවිනි..

පසුව ඈ මට සිනාසෙන්නට ඉගැන්නුවාය. සිඹින්නට ඉගැන්නුවාය.. ඉතින් මා ඈ හා සිනාසෙන්න ඇති..බැරි ගාතේ ඉඹිනවා වෙනවුවට ඇගේ කම්මුල් ලෙවකන්න හෝ ඇති. මුණ පුරා කෙල තලියක් ගෑවට ඈ කිසි සේත් උදහස් නොවන්නට ඇති.

අද කාලයේ මෙන් ස්කෑන් පහසුකම් එදා නොවීය. ඉතින් ඈ මා දුවක්ද පුතෙකුද කියා ඈ කලින් නොදත්තාය.. මා දනිමි ඇයට අවැසි වන්නේ පුතෙක් බව. නමුත් කරුමය ඇයට උරුම කලේ දියනියක්ය. නමුත් ඈ නොදුටු මා වෙනුවෙන් රෝසපාට ඇඳුම් පොඩි මසා තිබුණි. රෝසපාට කොට්ට උර මසා තිබුනි.
පියාගෙන් කිසිදු අනුදැනුමක් අත් උදව්වක් නොමැතිව තනිවම ඇය මා වෙනුවෙන් හැකි පමන සැරසුම් කර තිබුනි. ඒ නිසාම දෝ හෝ මා දියණියක්ව ඈ අතට පත් වීමි. ඇය මගේ මවය. ඇයට පොහොසත් පවුලක් උරුම වී නොතිබුණි. මගේ පියාද දුප්පත් අයෙක් විය. අද මෙන් ඈ සිතින් ශක්තිත්ව සිටියේද නැත. මැදපෙරදිග දහ දුක් දරා ජීවිතය ගැට ගැසූ ඇය, හරි හැටි කෑමක් බීමක් නැති ඇය. ඇගේ ලේ කිරි කර පොවන්නවිට මාද පෙරේතියක් මෙන් බොන්නට ඇත.  ඇගේ සුන්දර සිරුර මා නිසා වියපත් වන්නට පටන් ගත්තේ එතැනින් බව සැබෑය.

කුඩා කල සිට වසර 14ක් පමණ මම සෙම් රෝගයෙන් පෙලෙන්න විය. ඇය ඒ වෙනුවෙන් මා සුව කිරීමට නොකල දෙයක් නැත. මේ හේතුවෙන් ගෙදර රංඩු සරුවල් ඇති වූ අවස්ථාද වැඩි විය. පියාට කවදත් කිසිත් ගැන වගවීමක් නොවීය.  ඉතින් ඈ ඇගේ ජීවිතයේ සියලුම දේ මා වෙනුවෙන් ඈ කැපකලාය. ධනය රූපය ශක්තිය නොව ඇය ඇගේ තරුණ ජීවිත කාලයද මා වෙනුවෙන් කැප කලාය .

ඇය මට පෙනෙන්නට කවදාවත් හඬා නොතිබිනි.. නමුත් දිනක් උදෑසන මගේ යට කලිසමත් අරගෙන ඈ හඬාගෙන විත්  චූටි අම්මියා ලොකු ලමෙක් වෙලා කියා මා බදාගෙන අඬන්නට ගත්තාය. අම්මා අඩන්න දන්නවා කියා මා දැනගත්තේ එදාය. ඉතින් මා  ඊට වඩා හයියෙන් අඩන්න පටන් ගත්තෙමි. කොටහළු නැකතට ස්නානය කිරීමෙදී මම අම්මා අතින් නෑමට පින් කර තිබුණි. මා රෙදි නැන්දා අතින් නෑමට වෛර කලෙමි. වැදූ අම්මාගේ අතින් නෑමට මට අවැසිව තිබුනි. ඒ බව ඈ දැන උන්නාය. පසුව බුලත් දී අම්මාට වැඳ , දෙවනුව පියාට වැඳ නැගිටිද්දී අප්පච්චී මාව තුරුලු කරන් අඬන්නට විය.
අප්පච්චීද අඬන්න දන්නාවග දැනගත්තේත් මම එදාය. ඉතකින් වසරකට පසු ඔහු අපෙන් වෙන්ව ගියාය. එදා ඒ  වැටුනේ කඳුලුද වතුරදැයි කියා ඔහුගෙන්  අසන්නට මට අදත් සිත් වෙයි.

පියාද මට ආදරය කරන්නට ඇත. ඔහු හා සුරතල් වූ අයුරු අදටත් මකතයේ රැදී ඇත්තේ ඒ නිසාය. දුරස්ව සිටියද තවමත් මා ඔහුටද ආදරය කරමි. නමුත් අම්මා ගේ ආදරය හා මා ඇයට කරන ආදරය ගත් විට ඒ අහලකට වත් ඔහුගේ පීතෘ ප්‍රේමය ගත නොහැකිය. ඒ මාගේ කරුමයයි... ඔහුගේ නොලැබීමයි... මගේ මෙන්ම ඔහුගේද අවාසනාවක්මයි.

ඇය ..මගේ දයාබර අම්මා  ගැහැනියකට වඩා වෙහෙස වී අද පිරිමියෙකු මෙන් දෙපයින් නැගී සිටී.. මා ඇය ගැන ආඩම්බර වෙමි. ඇය ට අතපසු වීම් සිදු වූ අවස්ථා ඇත. හිතුවක්කාර තීරණ ගෙන පසු තැවුනු අවස්ථාද ඇත. නමුත් ඇය ගත් සියලු තීරණ වලට හරි හෝ වැරදි වේවා මම ගරු කරමි.මක් නිසාද අද මා ජීවත්වන්නේ ඇගේ සෘජු තීරණයකට පින්සිදු වීමට විය හැකි නිසාය.
එදා ඇගේ තැන මා සිටියා නම්.. මා හඬමින් පසුතැවෙමින් මාගේ  ජීවිතයම අනාත කරගෙන මගේ දරුවාගේ ජීවිතයද අඳුරු කරදමනු ඇත. නමුත් ඇය,  ඒ ධෛරයවන්ත ගැහැනිය කඳුලු සඟවමින් තනිවම නැගිට මා සවිමත් කලාය. ඉතකින් නොනැවතුනු ඇය මා පෙරටු කරගෙන අදටත් මට ශක්තියක්ව සිටින්නීය. 
ඇය මාගේ මවද පියද යන්න මට සිතා ගත නොහැකිය. ඇය ඒ ද්විත්ව භුමිකාවම අපූරුවට විදහාලමින් මට කිසිදු අඩුවක් දැනීමට ඉඩ නොතිබ්බාය.
අද ඇය වසර 18ක පලපුරුද්ද ඇති පොල් ආශිත කර්මාන්ත ව්‍යපාරිකාවකි. බින්දුවේ සිට ගමන් ඇරඹි ඇය ක්ෂේත්‍රය් පිරිමින් හා ගැටී අප්‍රමාණ දුක් විඳ අතපය අස්ථි ගෙවීයන තෙක් වෙහෙස වී  සාර්ථකව ඉදිරියට යමින් සිටීන්නීය.

ඇය බ්ලොග් අවකාශය නොදන්නීය . ඇය හරබර වචන හරිහැටි නොදන්නීය.. නමුත් ඈ මට බ්ලොග් ගත වීමට පරිඝනකයක් ගෙන දුන්නාය.. හරබර වචන අකුරු කරන්නට  මට ඉගැන්නුවාය .
සත්තකිම්ම මට අවශ්‍ය සෑම දේම ඇය අවශ්‍යය පමණටත් වඩා ලබාදුන්නාය.
සාමාන්‍ය පෙල තෙක් පාසලට ගිය ඇය මා දැන උගත් දෑ පිලිබඳ අවබෝදයක් නැතිව සිටියද , ඇය ලබා ඇති අත්දැකීම් මට මා දත් සියල්ලට වඩා අදත් මතුවත් ඉදිරියෙන් සිටිනු ඇත. මට නිවැරදිව ජීවත් වීමට ඒවා  අත්වැලක් වනු ඇත. මට ඇගේ ධෛරයෙන්  අඩක් ලැබී ඇත. මා නොසැලී සියල්ල දරා සිටින්නේ ඇගෙන් ඒ ලත් දායාදය නිසාමය. නමුත් ඇගේ පෞෂයෙන් හා ශක්තියෙන් හා රෑපයෙන් මට ලැබී ඇත්තේ තුන්කාලක් පමණි.
බාගදා මට ඇයට වඩා ඉවසීමේ ගුනය නම් වැඩිපුර ලැබී ඇත. එයත් අනේ අනෙක් අයට සාපේක්ෂව  “වහා ගිනි ඇවිලෙන සුළු “ තත්වයේ ඉවසීමක් බව කිව මනාය.  ඒ මාගේ  දුර්වලතාවයකි.

ඇය මගෙන් බලාපොරොත්තු වූ දේ බොහෝය. ඇගේ ඇසින් මා නිසා සතුටු කදුළු වැටුනු වේලාවන් අල්ප බව දනිමි. ඇය මගෙන් පැතූ තරම් ප්‍රමාණයක්  ඉටු කිරීමට තවමත් මම සමත් නොවුනි.  ඒ ගැන මා අවංකවම පසු තැවෙන නමුත් කෙසේ හෝ ඇගේ බලාපොරෙත්තුව මා ඉටු කරමි.  සෙම් රෝගය හේතුවෙන් වසරෙන් අඩක් පමණ  රෝහලේ සිටි මම අ.පො.ස. සාමාන්‍යපෙල විභාගය සමත් වු දින ඇ මා බදාගෙන හැඬුවාය. ඇය මා විශ්විද්‍යාල ප්‍රවේශය ලබාගනී යැයි පැතුවාය. නමුත් මට එය කිරීමට නොහැකි විය. ඒ පිලිබඳ මා පසුතැවෙමි. 

මා යමක් සිතුවම් කල විට ඇය මුවින් අගය නොකලාය.
මා මුලින්ම ඇන්දේ ඇගේ රුව විය
මා යමක් ලියූ  කල විට ඇය මුවින් අගය නොකලාය.
මා මුලින්ම ලිව්වේ අම්මා ගැනය
නමුත් මා ඇගේ නෙතේ දීප්තිය දුටුවාය.. එය මට ප්‍රමාණවත් විය. 

ඇය මට දුන් ජීවිතයෙන් මම අදද ඈ දිහා බලමි.. එදා ට වඩා අද ඇය නොසෑහෙන්න වෙනස් වී ඇති බව සැබෑය.. ඇගේ කළුවන් කෙස් අද සුදු පැහැයට බරව ඇත. පිරී තිබූ කම්මුල් අද මෘදුව රැලි වැටෙන්නට පටන් ගෙන ඇත.. ඈසේ එලිය වියැකිමෙන් ද , ලැමැද වියැලී අත පය ශත්තියද ගෙවීයමින් ඇත.
මේ දසුන් මගේ නෙත ගැටෙන  නමුත් ඒ ගැන මා ඇයට අඟවන්නට යන්නේ නැත. ඇය තවමත් තරුණ බව ඒත්තු ගන්වා ඇය මානසිකව ශක්තිමත් කිරීමට මම කැමැත්තෙමි.

වසර අවසානයේ දෙසැම්බර් මස තිස් එක් වැනි දිනයට මා කිසිදු කැමැත්තක් නැත.  අද ඇයගේ උපන් දිනයයි... මෙසේ ලිවීමට හේතුව එයයි.
මා ලිවීම ඇරඹියේ අනන්තය බ්ලොග් අඩවියේ අනුරාධ සහෝදරයාගේ මග පෙන්වීමකින් වුවත් එයට පාර සැදුනේ මම “අම්මා“  නමින් ලියූ  ලිපියක් මගිනි. එය මාගේ පලමු නිර්මාණය වන  අතර එය මගේ ජීවිතය වෙනස්ම මගකට ගෙන යන්නට සමත් විය.
පොඩි කාලේ නම් සුපුරුදු පරිදී අද දින මවිසින් , මල් කොල වියලා සුබ පැතුම් පතක් රහසේම සාදා මා ඇයට තිලින කරනු ඇත.  ඒ සියල්ල ඈ එකතු කරගෙන ආදරයෙන් පරිස්සම් කරන් සිටින බව මා දනිමි. ඇය මාගේ සියලු මතකයන් එකතු කරගෙන සිටී..

නොදරු වියේ කෙසේනමුත්  දැන් ඇගේ උපන්දිනය එලැබෙන සෑම දිනයකම මා හිතින් හඬා වැටෙන්නේ අන් කවදාටත් වඩා වේදනාවකිනි. මා දැන්  ඇගේ ජන්ම දිනය එලබෙනවාට කිසිසේත් ආශා නොකරමි. මට එක සිතින් ඇයට සුබ උපන්දිනයක් වේවායි පැතිය නොහැකිය.. මා ඒ දිනයට ඈට රහසේ වැලපෙමි. ඇය තවත් වසරකින් මහළු විම මට දරාගැනීමට නොහැකිය. මට සතුටු විය නොහැකිය.

මෙය කියවන ඔබ.. මා අත්මාර්ථකාමී නපුරු තැනැත්තියක ලෙස දකිනු ඇත. ලෝක ස්වාභාවය පරයා යන්න තනන මෝඩියක ලෙස දකිනු ඇත... නමුත් නුඹද නුඹේ මවට ආදරේ නම් ඇගේ උපන්දිනයේ අංකයේ අගය වැඩි වන විට මා මෙන්ම උම්මත්තකයෙකුව හැසිරෙනු ඇත.ඇගේ උපන්දිනය එලඹෙනවාට බයවෙනු ඇත..

මා අවංකවම ඇයට ආදරය කරමි. ඇගේ බලාපොරොත්තු ඉටු කිරීමට මගේ ජීවිතයේ අවසන් තත්පරය තෙක්ම සටන් කරමි..  හැකි සෑම විටම මගේ මුළු ආයුෂ ම ගෙන ඇය සතුටින් ජීවත් වේවායි පතමි..
නමුත් ඇය මා නොමැතිව ජීවත්වන්නේ නැති බව මා  හොඳාකාරවම දනිමි.  ඇගේ ධෛරයේ උල්පත මම බව මා දනිමි.  කුමන ගැටළුවක් මතු වුවද මා ඇය වෙනුවෙන් ජීවත් වන්නේ ඒ නිසාමය. ඒ ඇය ජීවත් කරවීම  උදෙසාමය..
මා ඇයගේ දියනිය බව සැබෑය. නමුත්  අනාගතයේ මතු යම් දිනයක ඇය මාගේ දියනිය මෙන්  ජීවිතයේ සැඳැ සමය ගෙවාදමනු ඇත. ඈ මා රැක බලාගත් ආකාරය තරම් මා ඇය රැක බලාගැනීමට වෙර දරමි.
එතෙක් මා ඇයට නිරෝගි සුවය පතමි.. එලැඹෙන හැම උපන්දිනයකම තවත් වසරක් ආයු වැඩේවායි පතමි.

ඇය මේ ආත්මයේදී අපමණ දුක් වින්දාය. නින්දා අපහාසද විඳි අවස්ථා විය. සාමාන්‍යෙයෙන් ලොව ස්ත්‍රී වර්ගයා ස්භාවිකව  විඳින වේදනාවන් දන්නේ තවත් ගැහැනියක්මය. ඒ පිලිබඳ කිසිදු ප්‍රතිරෑපයක් පුරුෂයාට මවාගත නොහැකිය. මගේ මෑණියෝ ද ඒ සියළු දුක් වින්දාය. ඒ අතර ජීවිතයේද සෑහෙන්න පීඩා වින්දාය.. ඇය පිරිමියෙකුව උපන්නා නම් මේ තරම්  ම දුකක් නොවෙන්න තිබුන බව මට ඉතාම පැහැදිලිය.  ඉතින් මා නුඹ වෙනුවෙන් මතු පුරුෂ ආත්ම භවයක් පතමි.
මට අද අහිමි පිය සෙනෙහස නුඹ මට මතු ආත්මයේදී ඇති තරම් දෙනු ඇත. මම බෞද්ධයෙක්මි. ඇය ද එසේය. ඇය හැකි සෑම විටම බුදුන් සරණ ගියාය. මාද දහමට නැඹුරු කලාය. ඇය මා මේසා දුරක් ජීවත් කල පින මට නම් මහමෙරක්ය..
මා හැකි තාත් පින් දහම් කරමි. ඒ ඇය වෙනුවෙනි.
මේතාක් මා කල සියළු පුන්‍යකර්මයන් මගේ අම්මාට අනුමෝදන් වේවා.. ඒ පින් ලොව සියළු මවුවරුන්ට අනුමෝදන් වේවා. සියළු මවුපින් සුව සේ වෙසෙත්වා!
ඒ සියළු පින් බල මහිමෙන් මේ භවයෙන් පසු එලැඹෙන සෑම  භවයේ දීම  අම්මේ නුඹ මගේ පියානන් වී  ඉපැදේවා!!!  මේ ගෞතම සම්බුදු සාසනයේ දීම මගේ අම්මා නිවනින් සැනසේවා..
ලොව සියළු මව්වරු සුවපත් වේවා!!

2 comments:

  1. ඉතින් ඒ සියල්ලටම කෘතගුණ දැක්වීමට කාලය එළඹ ඇත.

    ReplyDelete
    Replies
    1. අනිවාර්්‍යයෙන් සහෝදරයා

      Delete