Tuesday, December 30, 2014

අද ඇයගේ උපන් දිනයයි!!!!

ගේ ජීවිත කතාවේ කථා නායිකාව ඇයයි.මගේ සිහින රාජ්‍යයේ මහා රැජින ඇයයි.  මගේ එකම හොයුරිය -  මිතුරිය වගේම මගේ  මුල් ගුරුවරිය ඇයයි. සත්තකිම්ම මගේ ගෙදර ශ්‍රියාකාන්තාව ඇයයි. සම්පුර්ණයෙන්ම ඈ මගේ මුලු ජීවිතයේම නිර්වාණයයි.
මා අතිශොක්තියෙන් ඇය වර්ණා කිරීමට උත්සාහා කරමි. නමුත් මට කිසිම දිනයක ඈ හරිහැටි වර්ණා කරගැනීමට නොහැකි බව මා දනිමි. එහි කිනම් හෝ අඩුවක් තිබෙනු ඇත. ඒ තරමට ඈ මට අගනේය. ඇත්ත  මා එය ඇයට ඇඟවු අවස්ථා නැති තරම්ය. මා ඇයට නපුරුකම් කල අවස්ථා ගනන් කිරීමට මා නොදත් නමුත් මා එසේ කර ඇති බව මට විශ්වාසය. බොහෝ විට මා නොසිතා කියන වචනයකින් වුවද මා ඇගේ සිත රිදවා ඇති බව මට සෑහෙන කලකට පසු වැටහෙයි. නමුත් ඇය කිසිදා මා හා අමානාපව සිට නැත.
උපරිමය පැය කීපයකට සීමාවන අපේ ඇනුම් බැනුම් ,ඇගේ ගුටියකින් හෝ මගේ වැඳ වැටීමකින් අවසන් වේ.  මා ඇයට ආදරය කරමි. මේ ලියන මොහොතේ ඒ ආදරය කම්මුල් දිගේ රූරා යනමුත් ඒය නුඹ ඉදිරියේ පෙන්වීමට තරම් මම බොලඳ එකියක නොවෙමි. ඒ පෞර්ෂය, ශක්තිය මට ලැබුනේ ඇයගෙන්ය.

ඇය මට මුණ ගැසී බොහෝ කාලයක් ගතවිය. ඇය මට මුණගැසුන දින ඇගේ වත කෙසේ දැයි මට කිසි සේත්ම මතකයේ ඇඳි නැත. ඒ ගැන මා කණගාටු නොවෙමි. නමුත් මා එය මවාගැනීමට අද ද උත්සාහා කරමි.
මා ඈ දෙස මුල් වරට බලන විට ඇගේ දෑස දිදුලන්නට ඇති.රත් පැහැ පිරුන දෙතොලේ හිනාවක් පියකරුව ඇදෙන්නට ඇති...
ඇත්තටම ඇගේ දෑසම තෙත් වෙන්න ඇති. ඇයි දෑස විතරක්.. ඇගේ ලැමත් තෙත් වෙන්න ඇති.

ඇගේ ජීවිතයේ සෑම දිනයකම මා ඇගේ දුක සැප බෙදාගත්තේ නැති වග සැබෑය. නමුත් ඇගේ ජීවිතයේ වේදනාබරම අවස්ථාවේ මාද බෙරිහන් දී අඩන්නට ඇත.
ඇගේ වේදනාවේ වතගොත කිසිත් නොදැන , පෙනහල්ලේ වායු හුවමාරුවේ පලමු ක්‍රියාව ඇරඹිමේ වේදනාවෙන් හෝ මාද ඈ සමඟ හැඬිමට හවුල් වෙන්නට ඇත. බොහෝවිට මාගේ ඇඬුම් හඬින් ඇගේ වේදනාව අමතක වන්නට ඇත. සමහරවිට ඈ අඬමින් සිනාසෙන්නටද ඇත. නමුත් මා මෝඩයෙකු මෙන් දිගටම අඬන්නට ඇත. මක්නිසාද
මා සිනාසෙන්නට ඒවන විට නොදැන හිටි බැවිනි..

පසුව ඈ මට සිනාසෙන්නට ඉගැන්නුවාය. සිඹින්නට ඉගැන්නුවාය.. ඉතින් මා ඈ හා සිනාසෙන්න ඇති..බැරි ගාතේ ඉඹිනවා වෙනවුවට ඇගේ කම්මුල් ලෙවකන්න හෝ ඇති. මුණ පුරා කෙල තලියක් ගෑවට ඈ කිසි සේත් උදහස් නොවන්නට ඇති.

අද කාලයේ මෙන් ස්කෑන් පහසුකම් එදා නොවීය. ඉතින් ඈ මා දුවක්ද පුතෙකුද කියා ඈ කලින් නොදත්තාය.. මා දනිමි ඇයට අවැසි වන්නේ පුතෙක් බව. නමුත් කරුමය ඇයට උරුම කලේ දියනියක්ය. නමුත් ඈ නොදුටු මා වෙනුවෙන් රෝසපාට ඇඳුම් පොඩි මසා තිබුණි. රෝසපාට කොට්ට උර මසා තිබුනි.
පියාගෙන් කිසිදු අනුදැනුමක් අත් උදව්වක් නොමැතිව තනිවම ඇය මා වෙනුවෙන් හැකි පමන සැරසුම් කර තිබුනි. ඒ නිසාම දෝ හෝ මා දියණියක්ව ඈ අතට පත් වීමි. ඇය මගේ මවය. ඇයට පොහොසත් පවුලක් උරුම වී නොතිබුණි. මගේ පියාද දුප්පත් අයෙක් විය. අද මෙන් ඈ සිතින් ශක්තිත්ව සිටියේද නැත. මැදපෙරදිග දහ දුක් දරා ජීවිතය ගැට ගැසූ ඇය, හරි හැටි කෑමක් බීමක් නැති ඇය. ඇගේ ලේ කිරි කර පොවන්නවිට මාද පෙරේතියක් මෙන් බොන්නට ඇත.  ඇගේ සුන්දර සිරුර මා නිසා වියපත් වන්නට පටන් ගත්තේ එතැනින් බව සැබෑය.

කුඩා කල සිට වසර 14ක් පමණ මම සෙම් රෝගයෙන් පෙලෙන්න විය. ඇය ඒ වෙනුවෙන් මා සුව කිරීමට නොකල දෙයක් නැත. මේ හේතුවෙන් ගෙදර රංඩු සරුවල් ඇති වූ අවස්ථාද වැඩි විය. පියාට කවදත් කිසිත් ගැන වගවීමක් නොවීය.  ඉතින් ඈ ඇගේ ජීවිතයේ සියලුම දේ මා වෙනුවෙන් ඈ කැපකලාය. ධනය රූපය ශක්තිය නොව ඇය ඇගේ තරුණ ජීවිත කාලයද මා වෙනුවෙන් කැප කලාය .

ඇය මට පෙනෙන්නට කවදාවත් හඬා නොතිබිනි.. නමුත් දිනක් උදෑසන මගේ යට කලිසමත් අරගෙන ඈ හඬාගෙන විත්  චූටි අම්මියා ලොකු ලමෙක් වෙලා කියා මා බදාගෙන අඬන්නට ගත්තාය. අම්මා අඩන්න දන්නවා කියා මා දැනගත්තේ එදාය. ඉතින් මා  ඊට වඩා හයියෙන් අඩන්න පටන් ගත්තෙමි. කොටහළු නැකතට ස්නානය කිරීමෙදී මම අම්මා අතින් නෑමට පින් කර තිබුණි. මා රෙදි නැන්දා අතින් නෑමට වෛර කලෙමි. වැදූ අම්මාගේ අතින් නෑමට මට අවැසිව තිබුනි. ඒ බව ඈ දැන උන්නාය. පසුව බුලත් දී අම්මාට වැඳ , දෙවනුව පියාට වැඳ නැගිටිද්දී අප්පච්චී මාව තුරුලු කරන් අඬන්නට විය.
අප්පච්චීද අඬන්න දන්නාවග දැනගත්තේත් මම එදාය. ඉතකින් වසරකට පසු ඔහු අපෙන් වෙන්ව ගියාය. එදා ඒ  වැටුනේ කඳුලුද වතුරදැයි කියා ඔහුගෙන්  අසන්නට මට අදත් සිත් වෙයි.

පියාද මට ආදරය කරන්නට ඇත. ඔහු හා සුරතල් වූ අයුරු අදටත් මකතයේ රැදී ඇත්තේ ඒ නිසාය. දුරස්ව සිටියද තවමත් මා ඔහුටද ආදරය කරමි. නමුත් අම්මා ගේ ආදරය හා මා ඇයට කරන ආදරය ගත් විට ඒ අහලකට වත් ඔහුගේ පීතෘ ප්‍රේමය ගත නොහැකිය. ඒ මාගේ කරුමයයි... ඔහුගේ නොලැබීමයි... මගේ මෙන්ම ඔහුගේද අවාසනාවක්මයි.

ඇය ..මගේ දයාබර අම්මා  ගැහැනියකට වඩා වෙහෙස වී අද පිරිමියෙකු මෙන් දෙපයින් නැගී සිටී.. මා ඇය ගැන ආඩම්බර වෙමි. ඇය ට අතපසු වීම් සිදු වූ අවස්ථා ඇත. හිතුවක්කාර තීරණ ගෙන පසු තැවුනු අවස්ථාද ඇත. නමුත් ඇය ගත් සියලු තීරණ වලට හරි හෝ වැරදි වේවා මම ගරු කරමි.මක් නිසාද අද මා ජීවත්වන්නේ ඇගේ සෘජු තීරණයකට පින්සිදු වීමට විය හැකි නිසාය.
එදා ඇගේ තැන මා සිටියා නම්.. මා හඬමින් පසුතැවෙමින් මාගේ  ජීවිතයම අනාත කරගෙන මගේ දරුවාගේ ජීවිතයද අඳුරු කරදමනු ඇත. නමුත් ඇය,  ඒ ධෛරයවන්ත ගැහැනිය කඳුලු සඟවමින් තනිවම නැගිට මා සවිමත් කලාය. ඉතකින් නොනැවතුනු ඇය මා පෙරටු කරගෙන අදටත් මට ශක්තියක්ව සිටින්නීය. 
ඇය මාගේ මවද පියද යන්න මට සිතා ගත නොහැකිය. ඇය ඒ ද්විත්ව භුමිකාවම අපූරුවට විදහාලමින් මට කිසිදු අඩුවක් දැනීමට ඉඩ නොතිබ්බාය.
අද ඇය වසර 18ක පලපුරුද්ද ඇති පොල් ආශිත කර්මාන්ත ව්‍යපාරිකාවකි. බින්දුවේ සිට ගමන් ඇරඹි ඇය ක්ෂේත්‍රය් පිරිමින් හා ගැටී අප්‍රමාණ දුක් විඳ අතපය අස්ථි ගෙවීයන තෙක් වෙහෙස වී  සාර්ථකව ඉදිරියට යමින් සිටීන්නීය.

ඇය බ්ලොග් අවකාශය නොදන්නීය . ඇය හරබර වචන හරිහැටි නොදන්නීය.. නමුත් ඈ මට බ්ලොග් ගත වීමට පරිඝනකයක් ගෙන දුන්නාය.. හරබර වචන අකුරු කරන්නට  මට ඉගැන්නුවාය .
සත්තකිම්ම මට අවශ්‍ය සෑම දේම ඇය අවශ්‍යය පමණටත් වඩා ලබාදුන්නාය.
සාමාන්‍ය පෙල තෙක් පාසලට ගිය ඇය මා දැන උගත් දෑ පිලිබඳ අවබෝදයක් නැතිව සිටියද , ඇය ලබා ඇති අත්දැකීම් මට මා දත් සියල්ලට වඩා අදත් මතුවත් ඉදිරියෙන් සිටිනු ඇත. මට නිවැරදිව ජීවත් වීමට ඒවා  අත්වැලක් වනු ඇත. මට ඇගේ ධෛරයෙන්  අඩක් ලැබී ඇත. මා නොසැලී සියල්ල දරා සිටින්නේ ඇගෙන් ඒ ලත් දායාදය නිසාමය. නමුත් ඇගේ පෞෂයෙන් හා ශක්තියෙන් හා රෑපයෙන් මට ලැබී ඇත්තේ තුන්කාලක් පමණි.
බාගදා මට ඇයට වඩා ඉවසීමේ ගුනය නම් වැඩිපුර ලැබී ඇත. එයත් අනේ අනෙක් අයට සාපේක්ෂව  “වහා ගිනි ඇවිලෙන සුළු “ තත්වයේ ඉවසීමක් බව කිව මනාය.  ඒ මාගේ  දුර්වලතාවයකි.

ඇය මගෙන් බලාපොරොත්තු වූ දේ බොහෝය. ඇගේ ඇසින් මා නිසා සතුටු කදුළු වැටුනු වේලාවන් අල්ප බව දනිමි. ඇය මගෙන් පැතූ තරම් ප්‍රමාණයක්  ඉටු කිරීමට තවමත් මම සමත් නොවුනි.  ඒ ගැන මා අවංකවම පසු තැවෙන නමුත් කෙසේ හෝ ඇගේ බලාපොරෙත්තුව මා ඉටු කරමි.  සෙම් රෝගය හේතුවෙන් වසරෙන් අඩක් පමණ  රෝහලේ සිටි මම අ.පො.ස. සාමාන්‍යපෙල විභාගය සමත් වු දින ඇ මා බදාගෙන හැඬුවාය. ඇය මා විශ්විද්‍යාල ප්‍රවේශය ලබාගනී යැයි පැතුවාය. නමුත් මට එය කිරීමට නොහැකි විය. ඒ පිලිබඳ මා පසුතැවෙමි. 

මා යමක් සිතුවම් කල විට ඇය මුවින් අගය නොකලාය.
මා මුලින්ම ඇන්දේ ඇගේ රුව විය
මා යමක් ලියූ  කල විට ඇය මුවින් අගය නොකලාය.
මා මුලින්ම ලිව්වේ අම්මා ගැනය
නමුත් මා ඇගේ නෙතේ දීප්තිය දුටුවාය.. එය මට ප්‍රමාණවත් විය. 

ඇය මට දුන් ජීවිතයෙන් මම අදද ඈ දිහා බලමි.. එදා ට වඩා අද ඇය නොසෑහෙන්න වෙනස් වී ඇති බව සැබෑය.. ඇගේ කළුවන් කෙස් අද සුදු පැහැයට බරව ඇත. පිරී තිබූ කම්මුල් අද මෘදුව රැලි වැටෙන්නට පටන් ගෙන ඇත.. ඈසේ එලිය වියැකිමෙන් ද , ලැමැද වියැලී අත පය ශත්තියද ගෙවීයමින් ඇත.
මේ දසුන් මගේ නෙත ගැටෙන  නමුත් ඒ ගැන මා ඇයට අඟවන්නට යන්නේ නැත. ඇය තවමත් තරුණ බව ඒත්තු ගන්වා ඇය මානසිකව ශක්තිමත් කිරීමට මම කැමැත්තෙමි.

වසර අවසානයේ දෙසැම්බර් මස තිස් එක් වැනි දිනයට මා කිසිදු කැමැත්තක් නැත.  අද ඇයගේ උපන් දිනයයි... මෙසේ ලිවීමට හේතුව එයයි.
මා ලිවීම ඇරඹියේ අනන්තය බ්ලොග් අඩවියේ අනුරාධ සහෝදරයාගේ මග පෙන්වීමකින් වුවත් එයට පාර සැදුනේ මම “අම්මා“  නමින් ලියූ  ලිපියක් මගිනි. එය මාගේ පලමු නිර්මාණය වන  අතර එය මගේ ජීවිතය වෙනස්ම මගකට ගෙන යන්නට සමත් විය.
පොඩි කාලේ නම් සුපුරුදු පරිදී අද දින මවිසින් , මල් කොල වියලා සුබ පැතුම් පතක් රහසේම සාදා මා ඇයට තිලින කරනු ඇත.  ඒ සියල්ල ඈ එකතු කරගෙන ආදරයෙන් පරිස්සම් කරන් සිටින බව මා දනිමි. ඇය මාගේ සියලු මතකයන් එකතු කරගෙන සිටී..

නොදරු වියේ කෙසේනමුත්  දැන් ඇගේ උපන්දිනය එලැබෙන සෑම දිනයකම මා හිතින් හඬා වැටෙන්නේ අන් කවදාටත් වඩා වේදනාවකිනි. මා දැන්  ඇගේ ජන්ම දිනය එලබෙනවාට කිසිසේත් ආශා නොකරමි. මට එක සිතින් ඇයට සුබ උපන්දිනයක් වේවායි පැතිය නොහැකිය.. මා ඒ දිනයට ඈට රහසේ වැලපෙමි. ඇය තවත් වසරකින් මහළු විම මට දරාගැනීමට නොහැකිය. මට සතුටු විය නොහැකිය.

මෙය කියවන ඔබ.. මා අත්මාර්ථකාමී නපුරු තැනැත්තියක ලෙස දකිනු ඇත. ලෝක ස්වාභාවය පරයා යන්න තනන මෝඩියක ලෙස දකිනු ඇත... නමුත් නුඹද නුඹේ මවට ආදරේ නම් ඇගේ උපන්දිනයේ අංකයේ අගය වැඩි වන විට මා මෙන්ම උම්මත්තකයෙකුව හැසිරෙනු ඇත.ඇගේ උපන්දිනය එලඹෙනවාට බයවෙනු ඇත..

මා අවංකවම ඇයට ආදරය කරමි. ඇගේ බලාපොරොත්තු ඉටු කිරීමට මගේ ජීවිතයේ අවසන් තත්පරය තෙක්ම සටන් කරමි..  හැකි සෑම විටම මගේ මුළු ආයුෂ ම ගෙන ඇය සතුටින් ජීවත් වේවායි පතමි..
නමුත් ඇය මා නොමැතිව ජීවත්වන්නේ නැති බව මා  හොඳාකාරවම දනිමි.  ඇගේ ධෛරයේ උල්පත මම බව මා දනිමි.  කුමන ගැටළුවක් මතු වුවද මා ඇය වෙනුවෙන් ජීවත් වන්නේ ඒ නිසාමය. ඒ ඇය ජීවත් කරවීම  උදෙසාමය..
මා ඇයගේ දියනිය බව සැබෑය. නමුත්  අනාගතයේ මතු යම් දිනයක ඇය මාගේ දියනිය මෙන්  ජීවිතයේ සැඳැ සමය ගෙවාදමනු ඇත. ඈ මා රැක බලාගත් ආකාරය තරම් මා ඇය රැක බලාගැනීමට වෙර දරමි.
එතෙක් මා ඇයට නිරෝගි සුවය පතමි.. එලැඹෙන හැම උපන්දිනයකම තවත් වසරක් ආයු වැඩේවායි පතමි.

ඇය මේ ආත්මයේදී අපමණ දුක් වින්දාය. නින්දා අපහාසද විඳි අවස්ථා විය. සාමාන්‍යෙයෙන් ලොව ස්ත්‍රී වර්ගයා ස්භාවිකව  විඳින වේදනාවන් දන්නේ තවත් ගැහැනියක්මය. ඒ පිලිබඳ කිසිදු ප්‍රතිරෑපයක් පුරුෂයාට මවාගත නොහැකිය. මගේ මෑණියෝ ද ඒ සියළු දුක් වින්දාය. ඒ අතර ජීවිතයේද සෑහෙන්න පීඩා වින්දාය.. ඇය පිරිමියෙකුව උපන්නා නම් මේ තරම්  ම දුකක් නොවෙන්න තිබුන බව මට ඉතාම පැහැදිලිය.  ඉතින් මා නුඹ වෙනුවෙන් මතු පුරුෂ ආත්ම භවයක් පතමි.
මට අද අහිමි පිය සෙනෙහස නුඹ මට මතු ආත්මයේදී ඇති තරම් දෙනු ඇත. මම බෞද්ධයෙක්මි. ඇය ද එසේය. ඇය හැකි සෑම විටම බුදුන් සරණ ගියාය. මාද දහමට නැඹුරු කලාය. ඇය මා මේසා දුරක් ජීවත් කල පින මට නම් මහමෙරක්ය..
මා හැකි තාත් පින් දහම් කරමි. ඒ ඇය වෙනුවෙනි.
මේතාක් මා කල සියළු පුන්‍යකර්මයන් මගේ අම්මාට අනුමෝදන් වේවා.. ඒ පින් ලොව සියළු මවුවරුන්ට අනුමෝදන් වේවා. සියළු මවුපින් සුව සේ වෙසෙත්වා!
ඒ සියළු පින් බල මහිමෙන් මේ භවයෙන් පසු එලැඹෙන සෑම  භවයේ දීම  අම්මේ නුඹ මගේ පියානන් වී  ඉපැදේවා!!!  මේ ගෞතම සම්බුදු සාසනයේ දීම මගේ අම්මා නිවනින් සැනසේවා..
ලොව සියළු මව්වරු සුවපත් වේවා!!

Sunday, December 14, 2014

සුලඟට පාටක් තිබුනා නම්......

මනල කන්දෙන් හිරු නැග එනකොට
අරුණළු අතරින් පිබිදුන දෑසට
සුලඟ පෙනෙයි රන්වන් පාටින්

වනාත අතරින් තණ පත් සිපඑන
ගත සිත සනහන සිසිල් සුලං රොද
පෙනේවි ලොවටම කොල පාටින්

වියැලුනු කුඹුරේ ඉපනැලි අතරින්
රත් උන වැලි කැට උණුවන තරමින්
කහ පැහැ සුලඟක් එයි සැර දමමින්

අඳුරු වලා පිරි දම් පැහැ අහසෙන්
සීතල හිරිකඩ දිය බිඳු අරගෙන
හමාවි සුලඟක් නිල් පාටින්

බටහිර අහසේ ඉර හැංගෙනකොට
වෙරළ පුරා සයුරේ ඉම සොයමින්
සුලඟ සැරිසරයි රතු පාටින්

තරුකැට අතරින් සඳ හිනැහෙනකොට
අඳුර මැදින් ගං දියේ ඇදීයයි
රිදී පාට සුලඟක් රහසින්

Friday, August 1, 2014

නිවන් පුරේ ගිය අප්පච්චී........

සුදු පැහැ ඇඳුමෙන් සුදුමැලි මූනෙන් දෙනෙත් පියන් ඇයි?     අප්පච්චී
තුරුලට අරගෙන කීව කතන්දර ගොළුවෙලාද අද                   අප්පච්චී
පහනේ එලියෙන් දෝනි රැඳෙන්නේ නුඹේ තනියටයි             අප්පච්චී
දෑස විහිදලා හිස අතගාලා නොබලන්නේ ඇයි                       අප්පච්චී


අම්මව ආපහු ගෙදර ගෙන්නද සුර ලෝකෙට ගියෙ                අප්පච්චී
තාම නාවෙ ඇයි දින සති ගෙවුනා මාස තුනක් දැන්               අප්පච්චී
ලබන දුරුත්තට ගේත් සින්න වෙයි කාට කියන්නද                අප්පච්චී
දෝණිට පාළුයි දොම්නස් බෝමයි විගහට එනවද                  අප්පච්චී


ළමා නිවාසෙත් හිරගේ වාගෙයි ඉවසන්නට බෑ                     අප්පච්චී
රසවත් බෝජන අපොයි පරාදයි නුඹේ බත් ගුලියට               අප්පච්චී
උපන්න දා සිට අම්මට උන්නෙත් උඹ විතරයි මගෙ                අප්පච්චී
විගහට ඇවිදින් නුඹගේ තුරුලට අරං යන්න මං                      අප්පච්චී


හඳ නැති අහසේ කළුවර අතරින් එබී බලනවද                       අප්පච්චී
දෙව් විමනෙන් බැස මාව බලන්නට අම්මත් ඒවිද                   අප්පච්චී
හඬනා දෝණිව එක්කං යන්නට හීනෙන් ඇවිදින්                  අප්පච්චී
තනි උන දෝනිගේ කඳුළු පිහිනවද නිවන්පුරේ ගිය                 අප්පච්චී.....


Tuesday, July 22, 2014

ගස්සා ගන්න එපා! කඩා ගන්න එපා! අතහැර ගන්න එපා!!

ආයිබෝවන්ඩ....... හුඟ කාලෙකින් ආපහු කවුළුව පැත්තෙ ආවා.. මාව නිලව්වක් නැතුව ඇති බාගදා. සෑහෙන කාලෙකින් නේ.

සරුංගල් යවන කාලේ ආවා නේද? මං බලාගෙන මහ රජත් සරුංගල් හැඩ බලනවා.
ඉස්සර නං ඉතින්  අගොස්තු කිව්වම ගොයං කැපුවට පස්සේ  වෙල් එලියෙ අහසෙන්  එකයි සරුංගල්.. දැන් ඒ වගේ කාලයක් ආය නැ ඉතින්. 21 වෙනි සියවසලුනේ. දැන් තීන්නෙ තරඟෙට බීච් එකේ යවන සරුංගල්. එහෙමවත් මදැයි ඉතිරි වුනා.
වෙලාවකට සරුංගල් අපේ හීන වගේ.....
බලාපොරොත්තුව කියන නූලෙන් අපේ හීන සරුංගලේ බැඳගෙන අපි බිම ඉඳන්  ඒකේ ලස්සන බලනවා. 
ඊලඟ මොහොතේ මොනවා වෙයිද  කියන බයත් එක්කම..

අනේ ඇත්තට අපේ ජීවිතත් සරුංගල් වගේ...  නැද්ද කියන්නේ!!!
කවුරුත් ආසා ලස්සනට ආඩම්බරෙන් ගුවනේ වැජබෙන්න... ඒත් ඒ ලස්සන තියෙන්නේ නූල  හසුරවන අතත් එක්ක නේද? 
නූල ගැස්සුනොත්? කැඩුනොත්? අතහැරුනොත්????
මොනවා නං වෙයිද..

සරුංගලේ අපේ ජීවිත වලට ලං වෙන්නේ පුංචි පැංචි කාලේ ඉඳන්. යාංතං අතපය එහා මොහා කරං දෙයක් හදන්න පුලුවන් උන මුල්ම කාලේ අපි හදන්නේ “සරුංගලේ “ ඒකත් ඉරටු වලින්. අම්මගෙන්  කාසියක් හොයං  බ්රූම්.... කියලා කඩේට දුවලා රූං.. ගාලා සවුකරදහියක් ගෙනත් අලවලා  රැලි දෙකතුනක් දාලා.. ඒකේ නූල් කෑල්ලක් දවටං මූනෙයි අතෙයි කටෙයි පාප්ප ගාගෙන ඉතින් දුවනවා ගේ වටේ..

ටිකක් කල් යද්දි බට පතුරුවලින් වයිවාරන හැඩ වැඩ දාලා මොනරු කියයි, කොම්බු කියයි ,නයා කියයි හම්මේ ඉතින් නානාප්‍රකාර සරුංගල් . මේවත් අරං එක්කො වෙලේ නැත්තං ඉස්කෝලෙ පිට්ටනියෙ.  ඉතින් අම්මා කෝටුවත් අරං එනකං සරුංගලේ එක්ක තමයි රෑ වෙන්නෙත් එලිවෙන්නෙත්.. ඒ කාලෙ කොච්චර රහද කියලා හිතෙන්නේ අපේ අම්මලා තාත්තලා   එයාලාගේ ළමාකාලේ  මතක්කරද්දි.

අපි සේරම සරුංගල් වගේ තමයි නේද වෙලාවකට?  හැංගිලා හිටියම නං වැඩක් නෑ.. අහසට යන්නම ඕනේ.. ඉතින්සමහර සරුංගල් ලස්සනයි ගොඩක්..අහසෙදි.. ඒහෙම දකිද්දි අනුන්ගේ සරුංගල් වලට ඉරිසියා කරන අයත් ඇති.. සමහරු තමන්ගේ කරගන්න පෙරුම් පුරාගෙන ඉන්නත් ඇති.. පුංචිම කාලේ සරුංගලේ කඩංගියාම අඬපු අයත් ඇති ඕනෙතරම්. හිත  හදං ඊට වඩා ලොකු සරුංගලයක් හදාපු අයත් ඇති.

ඒ මොක වුනත් ජීවිත සරුංගලේ නං බොහොම පරිස්සමට සරුංගලේ හසුරුවන්න ඕනේ.. මොකද හුලඟ බලං ඉන්නේ සරුංගලේ අරං යන්නමයි!!  ඒකත් හරියට අපේ සමාජෙ වගේ.
හුලඟත් එක්ක අනවශ්‍ය වැඩකිඩ දාන්න ගිහින් නූල ගස්සාගෙන සරුංගලේ  ගැස්සෙන්න පුලුවන්.. පේන ලස්සන නැති වෙලා යන්න පුළුවන් එතකොට. (එච්චරම බරපතල නෑයි කියමුකෝ..)
හැබැයි සිහියක් නැතුව නූල කැඩීලා ගියොත්... සරුංගලේ   හුලං පාරට  ඕන දිහාවකට  අරගෙන යයි. ගස් අතුවල වැදිලා  තුවාලවෙයි.. විනාශ වෙලායයි.. අතරමං වෙයි...
අතහැරුනොත්??? හරිම  භයානකයි.. හොඳ නරක ඕන තැනක පැටලෙන්න පුලුවන්.. වෙනකෙනෙක් අතට ගියොත් හසුරුවන්න වුනත් පුලුවන්... හරියට ලණුව කඩාගත්ත ගොනා වගේ වෙන්නත් පුලුවං ඈ... කොහොමත් අන්තිමේ විනාශවෙන එක සුවර්.. පාලනයක් නැති ජීවිතේ විනාශ වෙන එක අහනන් දෙයක්ද?


 







ඉතින් සරුංගලේ............
හැඩට ඉන්න .. පාවෙන්න... හැබැයි.. නූල සිහියෙන් අල්ලාගෙන ඉන්න
ගස්සා ගන්න එපා! කඩා ගන්න එපා! අතහැර ගන්න එපා!!

Tuesday, February 25, 2014

අතුරු ආන්තරා බහුල කෝකටත් තෛලය!!

හවල් පලාතේ .....අහවල් පාසලේ.... අහවල් දැරිය ...... සියදිවි හානි කරගෙන“
සති කීපයක් ඇතුලත මේක ගිණි ගන්න හොට් හොට්  සුපුරුදු නිව්ස් එකක් වෙලා නේද?

උත්ගෝශන/ උපවාස/පොස්ටර් හෝ පත්‍රිකා නෙවේ සත්තකිම්ම අපි පෙරලි පෙරලි අඬන්න ඕනෙ මේවගේ දේවල් අහන්න දකින්න  වෙන හින්දා.  මොකද මේ ළමයින්ට වෙලා තියෙන්නේ!!
දරාගැනීමේ නොහැකියාවද? මන්ද මානසිකත්වයක් ද? හෝමෝන බලපෑමක්ද? එහෙමත් ම නැතිනම්
ෆේස් බුක් ද? ජංගම දුරකථනද?
මේ සිදුවීම් වලක්වාගන්න එකම පිළියම
ජංගම දුරකථන තහනම් කිරීමද?
නැතිනම්
ෆේස් බුක්  සයිබර් සාමාජ අඩවිය මෙරටට තහනම් කිරිමද?

අවංකවම කියනවානම් තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටක් විදියට අපි නවීන තාක්ෂණය දැනකියාගත යුතුමයි. නමුත් වැලඳගෙන ඒ මත්තේ නැහිම ඥානාන්විත ද? අවශ්‍ය දේ පමණක් රැගෙන අනවශ්‍ය දේ ඈත් කරගන්න බැරි තරමටම අපි නූගත් ද?
ඇටෙන් පොත්තෙන් එලියට එනකොටම හිතේ තියන ආවේගයත් එක්ක පිස්සුවෙන් අන්තර්ජාලය /මත් ද්‍රව්‍ය/දුරකථන එක්ක ගැටෙන අපේ ළමුන්ට තේරැම් කිරීමෙන් බැරි නම් පාරක් දීලාහරි , හරිහරි වැරදි තෝරා බේරා දෙන්න දෙමාපියන්ට ශක්තියක් නැද්ද?
 ඇයි බැරි  අපේ දෙමාපියන්ට මේ ලමයා මොකක්ද කරන්නේ කියලා හොයාබලන්න? එහෙම කරන්න තරම් උගත්කමක් නැනම් නම්, ඇයි මේ දරුවන්ට බැරි තමන් කරනදේ හරිද තේරුම් ගන්න.? ඒක අධ්‍යාපනයේ වරදක් ද? හේතුකාරක වුණ සිද්දිය ක්‍රියාත්මක කිරීමට නුවණ තිබුනානම් ,ඇයි එකේ අතුරු ප්‍රතිථල වලක්වන්න නුවණක් ඒ අයට නොතිබුනේ?

මං කාගෙන් ද මේවා අහන්නේ!!!!!!!!!!!!!!!!!!!!!

ඇත්තටම ශ්‍රී ලංකාව කියන්නේ අනෙක් බටහිර රටවල් හා මැද පෙරදිග ඇතුථ බොහෝ රටවලට වඩා ඉතාම හොඳ සංස්කෘතියක් සදාචාරයක් ඇති රටක්.
ඇයි මං ඒහෙම කියන්නේ? අපේ රටේ බටහිර රටවල් වල වගේ අවුරුදු 14න් ළමයි ඈත් කරන අම්මලා තාත්තල නෑ. පණ තියනකං අම්මලා තාත්තලා වැඩිහිටියෝ එක්ක ආදරෙන් බැඳීමකින් ඉන්නයි අපි හැදිලා තියෙන්නේ. ඒ රටවල ළමෙක්ට ගහන්න, බයින්න බැහැ නඩු .. ඒත් අපි ළමෙක්ට  ගහලා හරි හදාගන්නේ තියෙන ආදරේට , නොමඟ යයි කියන කැක්කුමට.
අපේ රටේ බටහිර තරම් අනවශ්‍ය විලාසිතාවන් නැහැ බහුතරයක් ලඟ කයික මානසික සංහිඳියාවක් තියෙනවා. . ඒ අපේ එවුන්ට ලැජ්ජා බය තියන නිසා.
පිස්සෙක් කියයි ඒ තමා දියුණු උන රටවල් වල හැටි කියලා,  අපිත් එහෙම වෙන්න ඕනෙ කියලා. අනේ වෙන්න ඕනෙම නං දියුණු උනාම වෙයල්ලකෝ හත් ගවුවක් තියං අඹුඩ නොගහ.

ඉතින් එහෙව් රටේ මේ වගේ අකල් මරණ අහන්න දකින්න ලැබෙන්න වැඩ සිද්ද වුනේ කොහොමද?
ජංගම දුරකථන නිසාද/ මුහුණු පොත නිසාද?
ජංගම දුරකථනය -  දුරක සිටින කෙනෙක් සම්බන්ධ කරගන්න තියන හොඳම සංනිවේදන මෙවලම. නව යොවුන් වියේ පසුවෙන අයට අපූරුම සෙල්ලම් බඩුවක් වෙලා. ඒ අයට මලක් කඩාගන්න වැලක් බලාගන්න මිසක් ඒකෙන් වෙන ප්‍රයෝජනයක් නොපෙනන ගානටයි ජංගම දුරකථනය දැන් පෙනෙන්නේ. මං වැරදිද?

 යමක් කමක් තේරැම් ගන්න පුළුවන් ළමෙක්ට දුරකථනයක් අවශ්‍යයි. මම අනවශ්‍යයි කියන්නේනැහැ මොකද  දැන් තියන සමාජ ක්‍රමය අනුව අනතුර කියන දේ කොයි මොහොතේ කොතන වෙයිද ? ඒ තැන පිහිටට යහපත් කෙනෙකුන් සිටිවිද ?නැතිද ? කියන්න දෙයියෝවත් නොදන්න විදියේ පරිසරයක්නේ අපිට තියෙන්නේ. මඟ තොටක දී කුමන හෝ  අතවරයකට ලක් වුනොත්/ අසනීපයක් සිද්ද වුනොත්/කුමනහෝ අනතුරක් සිදු වුවහොත්  දෙමාපියන් / වගකිව යුත්තෙක් සම්බන්ධ කරගන්න දුරකථනය පිහිටක් වෙන්න පුළුවන් මාර අනන්තයි අප්‍රමානයි. එ අත්දැකීම් මට තියෙන නිසා ඒක කියන්න මං බය නැහැ.  ඉතින් මේ සියදිවි හානිකරගැනීම් වලට සුලමුල ජංගම දුරකථන කියා  ලංකාවේ ජංගම දුරකථන තහනම් කිරීම තාත්වික ද?  නැහැ.

 බලන්න කොච්චි ඒ කියන්නේ දුම්රිය ලංකාවේ පොදු මගී ප්‍රවාහන ක්‍රමවේදයක්. බස්රථ හැරුණුකොට ගමනාගමනය සඳහා තිබෙන එකම පොදු ප්‍රවාහන සේවය. ඉතින් සමහරක් සියදිවි හානි කරගන්න දුම්රියට පනිනවා  / හිස තියනවා / අත් වැරදීම් වලින් ජීවිත අහිමි වෙනවා. රථ වාහන ගැටිලා අනතුරු වෙනවා. එහෙමයි කියලා දුම්රිය තහනම් කරනවද? එ වගේම තමයි දුරකථනයෙත් හානිකර පැත්ත තිබුනා කියා අපිට එය තහනම් කිරීමට බැහැ. ප්‍රයෝජනයක් තිබෙන පැත්තකුත් තිබෙන නිසා. 
අනික් අතට
ඉතින් මුහුණු පොත... “ෆේස් බුක්“ නිසා  මේ අකල් මරණ සිදු උනා කියා චෝදනා කිරීම සාධාරණද?  මගේ මතය නම් මෙම මරණ වලට එය ප්‍රධාන  හේතුවක් නොවේ. මූලිකවම මුළු සිදුවීමේම එකිනෙක කරුණු ගෙන බැලුවිට  මට නොවේ ඔබටත් එය දැනගත හැකි වෙයි. බුකිය හොඳයි ඉස්සර.. දැනුත් හොඳයි හැබැයි ටිකයි.

මං මුලින් කිව්වා වගේ අපේ රට බටහිර රට වලට වඩා  සදාචාරයෙන්  සංස්කෘතියෙන් බොහොමඉහල රටක්. ෆේස්බුක් කියන්නේ බටහිර නිෂ්පාධනයක්. එය කිසිම විටක හෑල්ලුවකට ලක් කරන්න හොඳ නැහැ . වෙබ් අඩවියකට වඩා එහා ගිය අපුරු නිර්මාණයක් කවුරු මොනවා කීවත්.
බටහිර රටවල ගම ද - නගරයද කියලා වෙනසක් නැහැ. කොටින්ම ඒ රටවල නගරයේ මිනිස්සු  ක්ලබ් යනවා කියලා ගමේ කෙනාට පුදුමයක් නැහැ. ඒ රටවල ගමේ එකත් දන්නවා ක්ලබ් එකට ගිහින් ඇඟ බේරගෙන එන්න. ඒවගෙ රටක  ‍ෆේස් බුක් එක කියන එක සාමාන්‍ය තවත් එක් සමාජ වෙබ් අඩවියක් ම විතරයි.

අපේ රටේ ,නගරයේ ඉන්න අයට මේක මහමෙරක් නොවුනට ගමේ ඉන්න සාමාන්‍ය අය අතරට මේ ෆේස් බුක් වෙබ් අඩවිය අමුතුම අලුත් දෙයක්. ඕන කෙනෙක් ට තේරෙනවා“ ගමේ එකාට“ නගරයේ එකාලා දාන සෙල්ලම් දාන්න බැහැ කියලා. ඒ අපේ රටේ හැටි. ඒක අපිට වෙනස් කරන්න බැහැ එකවරම.

හිතන්න තව කොච්චර මෙවගේ සමාජ වෙබ් අඩවි තියෙනවද.. නම් වශයෙන් කීවහොත්...
 ස්කයිප් / ක්වීප් /  හායි ෆයිව් / එම් ෆෙරෙන්ඩ්ස්  එකීමෙකී නොකී  මුහුණු පොත් වගේ වෙබ් අඩවි වගේම ගුගල් ජාලයේ “ජී ප්ලස් “ වුනත් එකිනෙකා රොක් වුණ තැනක්.ඇයි ඒවා ගැන මේ තරම් කතා නැත්තේ.. මොකක්ද මේ ෆේස් බුකියේ විෂේශය... මේක පුදුම විදිහට විවෘත වෙබ් අඩවියක්.  පැත්තකින් චැට් කරනවා, පැත්තකින් ඡායාරෑප ඇතුලත් කරනවා, කමෙන්ට් ,ලයික්  , ෆලොව්,ඉවෙන්ට්, ග්රෑප් , පේජ්....  ඇත්තටම මේකට එකවරම ඇතුළු වෙන කෙනෙක් ට පාරාදීසයක් වගේ පේනවා ඇති.  වාරණයකට යටත් කිරීම පිලිබඳ කසුකුසුවත් එක්ක නනාප්‍රකාර දේවල් මගේ ඇහැ ගැටුනත්  මගේ මතය, මෙයට පාලනයක් තිබිය යුතුමයි.
මං මේ ලඟදී උන දේවල් නිසා නෙවෙයි මෙහෙම කියන්නේ. මිට කලින ඉඳන්ම සිදු උන දේවල් නිසයි. අසභ්‍ය දර්ශන ගැන මං කතාකරන්නේ නැත්තේ ඒව අන්තර්ජාලයේ සුලභයි ඒකට බුකියට එන්නම ඕන නැති නිසා. මෙතන මං  බලන්නේ කියන්නේ මොකක්ද කියලා  රස කතා වලටට වගේම කාගේ හරි වැලපීමකට ලයික් එකක් දාපු කෙනෙක්ට ඒක නොතේරෙන්න විදියක් නැහැ.

හුදෙක් එක එක දේවල් හේතු විදියට ඉදිරිපත් කරාවි.. ජීවිතේට නොදැකපු අය අඳුරගන්නවා , කාලෙකින් මුණ ගැහෙන්නැති යාළුවෝ කතාකරනවා, නිර්මාන හැකියාවන් ලෝකෙටම පෙන්වනවා,  ආයතන ජනතාව අතරට ගෙනයනවා,  මට උනත්  කියන්න දේවල් ඇති තරම් තියේ.. මේවගේ දාහක් ජාති කියාවි නමුත් ඇත්තටම අවංකවම ඇති මහලොකු ප්‍රයෝජනයක් නැහැ.

නොහඳුනන අය නිසා ඔයාලට ඇතිවන අපහසුතාවය මං එකිනෙක කිව යුතු නෑ නේද? ? අනික අපිට කෙනෙක් හඳුනාගන් තිබේ නම් ඒක කොහෙන් හෝ සිදුවෙනවා. සමහර  යළුවෝ අත්‍යාවශම නම් ඒ අය බුකිය තිබුනා නැතා අපි අතර ඉන්නවානේද..  සමහරු අපිට අනවශ්‍ය නිසා නේද ඒ  අය ඈත් වෙලා ඉන්නේ. අපි දාන “හායි“ එකෙන් ඒ යාළුකම් රැඳෙනවා කියලා ස්ථීර වෙන්න පුළුවනිද ?   ආයතනයක් ගත්තොත් ඒකට ෆෑන් පේජ් එකකින් ජනතාව අතරට යනවා ඔබ නගා සිටුවනවා වගේම විරුද්ධ වාදියෙක්ට පුළුවන් එක පොස්ට් එකකින් ඔබ බිංදුවට ඇද දාන්න..  ඔබේ ඡායාරෑපයක් විකෘතිකරලා දාන්න කාටවත් කිසිම අපහසුවක් නැහැ .. පාසල් දරුවෝ කීදෙනෙක් අධ්‍යාපනය මඟ හැරං මේ මුහුණු පොතේ දවස පුරා කරක් ගහනවද? ගෙවීගිය කාලය ගැන රත්වෙන්නේ පහු වෙලා තමයි. ඒ වෙනකොට ආපහු අතපසු වීම් නිවැරදි කරාට පමා වැඩියි. නේද?කොච්චර කිව්වත් පලක් නැති පැත්තට බර වැඩියි කියලා අමාරුවෙන් හරි පිලිගන්නම වෙනවා.

 සැමියා බිරීඳ -  පෙම්වතා හෝ පෙම්වතියන් අතර විශ්වාසයන් බිඳී යන්න ප්‍රධානම හේතුවක් විදියටත් කාලයක්ම මේ බුකිය ඉස්මතු උනා.  දැන්  යොවුන් ප්‍රේමය මුල් කරගෙන තවත් නා හේතු මුල්කරගෙන මේ සිදුවෙන විපතත්  මුහුණු පොත හවුල් කරගෙන ... ඇතත්ටම මේකට ලොකුම හේතුව අපේ රටට මේ ක්‍රමය නොගැලපීමයි. නමුත් මෙය වාරණයකට ලක් කිරීම සිදු කලත් මෙයට ඇබ්බැහි වූ අයෙක් තමාගේ කාලය කාදමන්න මොනහෝ ක්‍රමයකින් මේ සඳහා ලං වෙන්ත් මගක් සකසාගනීවි. 
මිනිස්සුන්ට නිදහස ඕනේ කියලා  තමා කැමති දෙයක් කරන්න ඉඩ දෙන්න ඕනෙයි කියලා අතහැර ඉන්න නම් අපිට පාලනයක් අවශ්‍ය නැහැ නේද?

 එහෙනම් මත් කුඩු  /  දුම් වැට් තමාගේ කැමැත්තෙන් ගන්න කෙනාට ඒකට ඉඩ දීලා මැරෙන්න අරින්න ඕනෙනේද? එත් එහෙම කරනවද?  සමහර ඖෂධ වෛද්‍ය අනුමැතිය නැතිව දෙන්නෙම නැහැ. ඒ ඇයි ඒ දේ කැමැත්තෙන් හෝ නොකැමැත්තෙන්  පාවිච්චි කලත්  ශරීරයට අහිතකර නිසා..  නමුත් එය ඖෂධයක්.
එය තහනම් කිරීමක් ද? නැහැ ඒ පාලනය කිරීමක්...  
 නැතිනම් කාලයත් එක්ක ........
බුකිය කෝකටත් තෛලයක් වේවි...

පාළුවටද / චැට්ද / පොස්ට් ද / පේජ්ද / ගුරෑප්ද / පොටෝද / කමෙන්ට්ද /ඉවෙන්ට් ද? මොනාද අවශ්‍ය වෙන් වෙන්නද? වෙන් කරන්නද? මැරෙන්නද?...හැමදේටම  සියල්ල එකම අඩවියකින්!!!!

බුකියත් එක්තරා අහිතකර ඖෂධයක්   අතුරු අන්තරා බහුලයි..
ඉතින් මේ මුහුණු පොතටත් වාරණයක් නොවේ පාලනයක් තිබුනොත් හොඳයි උගත් නූගත් කා වෙනුවෙනුත්. ඒක මගේ ආකල්පය. 

Friday, February 14, 2014

රෝස මල් - චොකලට් - හාදු - වැලන්ටයින්......

වැඩකිඩ ගෝනියකට යට වෙලා ඉන්න අතරේ ආදරවන්තයින්ගේ දිනයට අකුරක් දෙකක් කියන්න කවුළුවට ආවේ ගිය අවුරුද්දේ තරම් දීර්ඝ ලිපියක් ලියන්න නම් නෙවේ.. දැන් ඉතින් කාර්ය බහුල ඈයොනේ.. (නොකියා කීවේ වැඩට යන වග)

රෝස මල් - චොකලට් - හාදු පිරුණ පෙම්වතුන්ගේ දිනය 2014 වසරෙ පෙබරවාරි 14 දින වෙනස්ම විදිහකින් සමරන පිරිසක් ලංකාවේ ඉන්නවා. මේ පින්බර නවම් පොහොය දිනයේ ශ්‍රී ලංකාව කියන්නේ, තවමත් බෞද්ධ රටක් කියලා ආඩම්බර වෙන්න පුළුවන් විදිහේ ආදරණිය තරුණ පරම්පරාවකුත් තවම අපිට ඉතිරි වෙලාතියෙනවා. මං එහෙම කියන්න හේතු උනේ හොරෙන්ම සතේ සතේ එකතුකරලා  ගෙවල් වලට හොරෙන් තමන් ආදරය කරන ගැහැනු ළමයාට හෝ පිරිමි ලමයාට තෑගි අරං දෙන විදිහේ පෙම්වතුන්ගෙත් දිනයක් නිසාවත් , පෙම්වතුන්ගේ දිනය මුවාවෙන් “පෙම්වත්තු“ කියාගෙන ආදරේ තරම මනින්න අයුතු ප්‍ර‍යෝජන හා කාමුක ආශාවක් මුදුන්පත්කරගන්න දුවන වැලන්ටයින් ලා ගේ දිනයක් නිසාවත් නම් නෙවේ. මේ ආදරවන්තයින්ගේ දවසේ ගෙදරට කියා හෝ නොකියා දෙන්නත් එක්ක පන්සලකට ගොඩවැදුන පිංවත් පෙම්වතුන් පිරිසක් නිසා.

ඇත්තටම ආදරේ සමරන්න එක දවසක් වෙන් කරන එක, එක විදියක විහිළුවන් උනත් සමහර වෙන් උන අය , පොඩි-පොඩි හිත් නොහොඳකම්නිසා නෝක්කාඩුවෙන් ඉන්න, බොරු තරහක් දාගන ඉන්න උදවිය ආදරෙන් ලංකරන්න නම් කියාපු දවසක් අද.  හැමදාම ආදරෙයි තමයි ඒත් ඒකාකාර ජිවිතෙන් පොඩි වෙනසක් ගන්න මේ වගේ දවසකුත් තියෙන එක වැදගත් එක අතකට.   මං එහෙමයි පෙබරවාරි 14 දකින්නේ.
ඒවගේම කලාතුරකින් ලැ‍බෙන අවස්ථාවත් විදිහට අද නවම් පොහොයත් ඒ දිනයටම යෙදිලා තියෙනවා. ඉතින් මේ දුක්විඳින සසර ගමනේ දිග  පලල අඩු කරගන්න සිතිවිල්ලක් ඇති කරගෙන සුදුවතින් සැරසිලා පන්සල් යන ජෝඩුවක් දකිනකොටත් පිං පාටයි නේද?........

ඉතින් මේ අස්සේ මට දුක හිතෙන කතාවකුත් කනට වැටුනා.
අටුවා ටීකා ටිප්පනි දාලා කතාව කියන්න තරම් වෙලාවක්, මට මේ වෙලාවේ නැති නිසා හරීම කෙටියෙන් දැනුන දේ කියන්න තමයි මේ හදන්නේ.
තිස් අවුරුදු යුද්ධය නිමා වෙලා වැඩි කාලයක් නම් නැහැ තවම. තරුණ රණවිරු පරම්පරාව දාහක් හැඟිම් දැනීම් මැද රට රැකගන්න මේ වගේ “පෙම්වතුන්ගේ දින“ ඕනෙතරම්  ගෙවන්න ඇති මරණය අතේ තියාගෙන.
අනෙක් මිනිස්සුන්ගේ ආදරේ - ජීවිතේ රකින්න. නේද? ඒ කැපකිරීම කොච්චරද කියනවනම් එයාලගේ ආදරේ - ජීවිතේ අපි වෙනුවෙන් නැතිකරගෙනයි එයාලා දිනුවේ.

මේක ඒ යුද්ධය තිබුණ කාලේ සිද්ද උන දෙයක්.
ඉතින් එක්තරා යුධ හමුදා සෙබලෙක් ක්‍රියාන්විතයේ ඉන්න කාලේ එයාගේ පෙම්වතියට වැලන්ටයින් එකට හමුවෙන්න එන්න වෙන්නේ නැති නිසා සුභ පැතුම් පතක් එක්ක ලිපියක් එවලා කඳවුරේ ඉඳන්.
ලඟදිම ලංකාවම නිදහස් රටක් වෙන බවත් , එතකොට ඉක්මනින් ම ගෙදර එන්න ලැබෙන බවත්,  මුලින්ම  තමන්ව බලන්න රෝස මලකුත් අරගෙන නොවැරදීම එන බවත්, ඒ වෙනකන් එයාගේ ආදරේ පරිස්සම් කරගෙන ඉන්නත් කියලා ඒ ලිපියේ සඳහන් වෙලා තිබුණා ලු.
ඉතින් ඒ ගැහැනු ළමයාට, ඒ සුභ පැතුම් පත හරියටම පෙම්වතුන්ගේ දිනයට ලැබුනත් ඊට දින දෙකකට කලින් තමන්ගේ පෙම්වතා ක්‍රියාන්විතයෙදී රට වෙනුවෙන් දිවි පුද කරලා කියලා දැනගන්න ලැබිලා. ඒ වෙලාවේ ඒ හිතට මොනවගේ දෙයක් දැනෙන්න ඇතිද නේද?  අපිට හිතාගන්න පුළුවන්කමක් නෑ නේද ?... ඒ ආදරේ කොච්චරක් ද කියනවනම්.. ඇය අදත් රෝස මලක් අරගෙන, මහනුවර පිහිටි රට දැය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ නම් සඳහන් ස්මාරකය ලඟට ඇවිත් ආඩම්බරෙන් බලාගෙන ඉන්න ව කියලයි මට දැනගන්න ලැබුනේ.
අපි නොදන්න කී දෙනෙක්  රණවිරුවන්ට /රණවිරුවන්ගේ පෙම්වතියන්ට මෙහෙම වෙන්න ඇතිද නේද? ඒ ආදරේ හරිම පූජනීයයි නේද?  හැබැයි හැඩවැඩ ඇති කාලේ ලං වෙලා පණ වගේ ඉඳලා, යුද්ධයෙන් පාද / දෑස් / අත් අහිමි උන, බොම්බ වලට ගොදුරුව මුහුණ අඟපසඟ විකෘති උන අපේ තරුණ රණවිරුවන් අතහැරලා ගිය පෙම්වතියනුත් ඉන්නවා. ඒවිදිහට තනි උන අයට අද කොහොම දැනෙනවද කියලා මං විග්‍රහ කරන්න යන්නේ නැහැ.

කොහොම උනත් වල පල්ලට යන මේ සමාජයේ උඩු ගං බලා යන්න උත්සාහ කරන කිහිප දෙනෙක් හරි ඇති ඒ අයට ඉතින් කවදාවත් වරදින්නේ නම් නැහැ.  ඉතින් මේ ඉන්න ටිකේ (අපි සදාකාලික හෝ අමරණීය නැත) ............................... හැමදාමත් වැලන්ටයින් තමා  ..................

Tuesday, February 11, 2014

වීදි දරුවා

මුහුනේ පුරා පැල්ලම් සීරැම්__________ලකුණු
එනමුත් නෙතින් අවිහින්සක බව______පිරුණු
පුංචි එකෙත් ඇවිදින් අත පා_________දකුණු
නෝනා බඩගිනියි, මට කීවා ________කරුණු

මා අත තිබූ බත් පත ඔහු අත_________තියලා
දොඩමළු උනා පැය ගානක් _________ඉවසාලා
ඒ හිත රැඳුනු දුක් දොම්නම් තතු ______අහලා
මගෙ හිත උණු උනා හදවත_________හිරිවැටිලා

මහ මඟ අතැර දමලා ගිය දා___________ඉඳලා
අව්ව වැස්ස  මැද තනිවම ඔට්ටු_________වෙලා
කුසගිනි නිවා ගනිමින් දුක සේ_________හිඳිනා
වීදි දරුවෙකුයි මම කවුරුත්___________කියනා

මා රැක බලාගන්නට කෙනෙකුන්______නොමැත
වැඩකිඩ කලත් හරියට සැලකුමක්________නැත
සොරකම් කරන්නට තුන් හිතකවත් ______ නැත
දෑතම පානවා හැර පිලිසරණක්ද_________ නැත

අතපය හතර තියාගෙනත් කනවා__________සිඟා
කියමින් නෝනලා යනවා මට____________ඔරවා
ඉඳහිට කෙනෙක් ඇවිදින් මුහුණට_________එබිලා
පනමක් දී කියයි අසරණයා______________කියලා

දවසක් විරිදු කවි කියමින්____________ඇවිදිනවා
විටකදි වැඩබිමක බර වැඩකුත්_________කෙරුවා
බැරි බැරි ගානේ බඩු මළු උස්සං__________යනවා
ඒ නැති දිනෙක දුක කියලා අත___________පෑවා

පොලවේ පය ගසා ඇවිදින දා____________ඉඳලා
මා පිය රැකවලෙක් නෑ මගේ නෙත________ගැටිලා
දකිනා දහසකුත් අය අතරින් ____________සැමදා
සෙනෙහැති නෙතක් සොයනවා _______තෝරාබේරා

දුහුවිලි දුම් ජරා නාවර____________සෝදගෙන
ආසයි මටත් එක තැනකට___________වී ඉන්න
එනමුත් කුසින් දැවිලා එන _________ මහ ගින්න
කවුරුත් නොමැත අහරින් නිවලා_______දෙන්න

පොහොයට පන්සලේ ලඟ වටයක්_________කැරකී
කන බොන දෙයක් ඩැහැගන්නට_________අර අදිමි
ඇතැමෙක් බැන වැදී පසකට ___________ එලවද්දී
සිත් පිත් ඇති අයෙක් මගෙ වග තුග _________අසතී

අඳුරත් එක්ක වාහන එලි වැඩි ____________වෙද්දී
අත පය වැදුනු තැන් කකියාගෙන___________ එද්දී
නොතෙමෙන පියස්සක් සොයමින් මා________යද්දී
හමුවෙන තැනක රෑ එලිවන තෙක් ම__________හිඳී

වීදි ලාම්පුවෙ ලා කහ කණ ______________එළිය
තුරුලට යන්න පොරකන මෙරුවන්________තලිය
දහවල් නගරයේ මහ සෙනගක්___________වැනිය
උන්ටත් මාව දැක්කට වගකට___________ නැතිය

හඩු උන පාංකඩ සරමක් ගත ______________වටා
කඩපිල් බැම්මකට පිටදී________________ගුලිවීලා
අතොරක් නැතිව ඇහෙනා හඬවල්________නොතකා
කුකුල් නින්දකට වැදගමි දෙනෙත්___________ පියා

අල්ලපු කඩපිලේ නිදි උක්කුං____________සීයා
කෙඳිරිය ඇසෙයි වම් පය වණයක්________හින්දා
දන්නා කියන කෙනෙකුට ඉන්නේ________උන්දා
විතරයි මගේ ලෝකේ පාළුව____________මකලා

දාහක් මදුරැවෝ වටකරගෙන____________මාව
විදිමින් සිංදු කියමින් වද දෙයි____________මටම
කොච්චර පවක් කරලා ඇතිදෝ_________මෙමම
හිතුණා සියදහස් වෙනි වරටත්___________හිතට

වතුර පොම්පයෙන් නෙත් දෙක_________තෙමාගෙන
පිට අත්ලෙන්ම ඒ තෙත්නෙත්___________ පිසදගෙන
වතුරෙන්, සිඳුණු කුස හොඳහැටි__________පුරවගෙන
ඒ මේ අතේ යමි සරණක්_______________පතාගෙන

සෙනෙගින් පිරුණු බස් රථයක්____________තුලට වැද
අත පා දුක කියා බඩ සා________________රැකගන්න
වැඳ වැඳ රැවුම් ගෙරවුම් මැද____________සටන් කර
බැසයමි පිනැති මිනිසුන් දුන්____________කාසි ගෙන

කාසිත් ඇතිව බසයෙන් බැස____________ යන්න පෙර
නගරං පාන දඬු කොළු රෑනක්____________පැමින
මගෙ කණ මිරිකලා හොඳහැටි____________තලා මට
සතයක් නැතිව ගෙන යයි තව____________දමා සැර

සුරතල් බබෙක් සෙන් පවුඩර් සුවඳ__________වෙවී
උන්නා මවගේ උකුලට පැන හාදු___________දිදි
මටත් මවක් උන්නා නම් කියා____________සිතී
කඳුලක් දැවටුනා වියැළුන දෑස ____________තෙමී

අතපය විකල වූ දරුවොත්____________වඩාගෙන
පාරේ යනෙන මවු පිය වරු__________ දකිනකොට
හිතුණා අහන්නට ඇවිදින්___________හොයාගෙන
අම්මේ උඹට මං හැඩවැඩ____________මදි උනිද

දවසට පාන් කාලයි කුසගිනි____________හින්දා
 සතියට වරක් බත් හම්බෙයි____________ඉඳහිටලා
ඒකට කන්න පොරකනවා මා____________පෙරලා
කඳුලින් පෙඟුණ මා හිනැහෙන්නේ ________ කවදා

කරගැට ඇවිත් පුපුරණ තුරු වැඩ____________කරලා
හවහට කඩේ මුදලාලිට ______________ පේ වෙනවා
අද නම් මදි කියයි නුඹ මෙහෙ____________වැඩ කරලා
ගල් බනිසයක් දී විගහට________________එලවනවා

පිඟන් දෙකක් බිඳුනා මගෙ____________අත වැරදී
ඒකට පාර වැදුනා මට තරු____________පෙනුනි
අම්මේක්  හිටිය නම් මෙතරම්__________දුකක් නැතී
දෙයියෝ උනත් සලකයි මට____________ඒ විටදී

පිඟින් කටු ඇනී දෙපතුල්____________ලේ එද්දී
අම්මෙ ්කියවුණා තුවාල____________පෑරෙද්දී
දෙනෙතින් බේරිලා කඳුලැලි____________රෑරද්දී
අම්මේ කොහිද නුඹ ඉන්නේ____________මේ වෙද්දී

ලෙඩ දුක් උනත් කිසි පිළි සරණක්_________ නැතුවා
කරුමෙ නිසා මා පිය සෙනෙහෙතෙක්_______නැතුවා
හරි දේ වැරදි දේ පෙන්වන අය____________නැතුවා
මියැදෙයි දිනෙක මඟ අයිනක මේ _________කොළුවා

වීදිය පුරා දුවමින් සිඟමන්____________යදිනා
ලේ මස් සිඳී ඇට හම විතරක්_________ තිබෙනා
පලුවක් ඉරුණු බැනියම ඇඳි _________ පුංචි එකා
වැදු මව කොහොම ඉන්නවදෝ_______මට සිතුනා

Sunday, January 26, 2014

බලන්න මං කියන කතාව ඔයාටත් තේරුණාද කියලා

ඉඳිකඩ කඩුල්ලේ වැහැරුණ__________ඉනි වැටට
බරවී හෙලයි ඈ නෙත් යුග_____________බටහිරට
රන්වන් පාට මළ හිරු රැස් කොපොල්________ සිඹ
නොමියුනු ඇගේ සෙනෙහස පෙන්වයි _______තවම

පැහැ සේදිලා සුද මතු වුණ _______________ චීත්තයේ
කොනකින් පිස දමයි තෙත් බිඳ නෙත් ______පොකුනේ
සුසුමන් දවාගෙන යයි වියැළුන  ____________ලමැදේ
හුස්මක් පුරා මඟ බලමින්____________ ලතැවෙන්නේ

දස මාසයක් දහ දුක් ගිණි _______________උහුලගෙන
ඇගෙ පන     දෙවෙනිකර නුඹ වෙනුවෙන්______ නැහුන
කැත කුණු කොහිද දරු සෙනෙහස දැනෙන ________ දින
නුඹ ලොකු මහත් කෙරුවා දුක ____________ දරාගෙන

හේනේ ඉඳන් එනවිටදී නුඹේ_______________පියා
මහ රෑ පොලොන් විසකින් අප අතැර__________ගියා
දාහක් ගැහැට විඳිමින් නෙක නව____________නින්දා
තනිකඩ හිතින් නුඹ හැදුවා සැප ___________නොබලා

කන්නෙන් කන්න කයියට පැන__________වෙහෙසීලා
පැදුරුත් පොල් අතුත් විව්වා ____________ නිදි වරලා
වෙහෙසක් දැනුන විට පැදුරට_____________ලං වීලා
නුඹෙ හිස පිරිමදී අම්මා _______________හිනැහීලා

ඉපනැලි දිගේ දුව පැවන උන් කොළු_______ ගැටයා
පහරක් දෙවා හෝ පිරිවෙන වෙත_________ යවලා
ඇඳුමක් තියා කුස ගැනවත් ඈ__________ නොසිතා
හද තුටු උනා කොළුවාගේ ___________නෙත පාදා

ලොකු ලොකු විභාගත් නුඹ කෙරුවාලු ______හොඳින්
වාසිටි යන්න හැකියැයි කීවාලු______________ උඩින්
ලොකු හාමුදුරුවෝ තේරුම් කරපු __________දෙයින්
මගෙ ඉහ මලක් පිපුනා හරි ___________උජාරුවෙන්

අප්පේ හීන් මැනිකේ උඹෙ සුදු _________කොළුවා
කොලොන් රටට ගියානෙවද___________උඹ දාලා
ගම්මුන් කියන්නේ ඒ ගැන වග___________ අහලා
මාවත් අරං යාවී උඹ රජෙක් _____________වෙලා

උගතෙකු වෙලා නුඹ ගිය පසු __________සිදාදියේ
නුඹ සැප ලබයි සිතලා මා_________සැනසෙන්නේ
එනමුත් නුඹේ අඩුවෙන් හිත_________ කාන්සියේ
සත්තයි පුතේ රස මසවුලු නෑ___________ පිසුවේ

සතියට වරක් ආ නුඹ____________ නෑවිත් ඉද්දී
මට වැඩ වැඩී කියමින්_________ නුඹෙ ලිපි එද්දී
හදවත වැලපුනා ලය ______________ගිණි ගද්දී
අමතක වෙයිද මා පුතුනේ කල් _______ ___යද්දී

අතගත් බත් අහුර ගිලගන්නට_____________ බැරිව
සිරවෙයි පුතේ නුඹ කුසගින්නේ____________ වත් ද
යන එන මගක මට හරියට නිලව්___________ නැත
නැතිනම් පුතේ දුවගෙන එමි _________හොයාගෙන

සුදු පැහැ මොටෝ රථයක් ආවා__________ දිනෙක
රට සුද්දියක් වාගේ කෙල්ලක් ____________සමඟ
නුඹෙ අත වෙලී ආ දරු පැටියා____________ දුටුව
මගෙ ලය පිබිදුනා පසු දස ____________වසරකට

හරි හැටි ඉඩකඩක් නැත මේ ______ගෙපැල්කොටේ
පැදුරක් මිසක් පුටුවක් නෑ මෙහි __________තිබුනේ
නාසය හකුලලා දුව වටපිට _____________බැළුවේ
කියලා ආවනං පිලිවෙල _____________කරනවනේ

ඉපනැලි දිහා නෙත් යොමනා _________මයේ පුතේ
උඹෙ පොඩි එකා මට උඹ ________වාගේමපෙනේ
මිදුලේ පුරා දුව පනිනා_______________ දාංගලේ
වම් කම්මුලේ ලපයක් ඇත__________ නුඹෙ වාගේ

අපි යමු අම්මේ මෙහෙ තනි වී __________මක්කටද
මේ ගේ ඉඩම විකුණාගමු _____________ගනනකට
මා ලඟ උඹට ඉන්න _____________ඇහැකි හැමදාම
හනිකට තියෙන දේ _____________අහුරමු මල්ලකට

වෙව්ලා ගියා මගෙ යටි හිත ____________නොදැනීම
අප්පා නැතුව නුඹ ලොකු උන __________මේ ගෙපැල
අතහැර දමා යන්නේ කොහොමද__________ මෙහෙම
පුතු හිත රිදවලා නවතින්නත්_______________ බැරිය

යන්නට එන්න මෙතරම් දුර ___________තියාගෙන
තනිවම අම්මා ඉන්නේ කොහොමද______ මෙහෙම
ලෙඩ දුක් උනත් කවුරුන්ගේ __________පිහිටක් ද
පුතුගේ බිරිය කිව්වේ මට _____________හිනැහීය

බිත්තිය සුදුයි නිල් වහලෙයි_______ දිලිසෙනවා
අහසක් උසට තාප්පෙකින් __________වට වීලා
හරකෙක් තරම් ලොකු ඇති________ ඒ දඩෝරියා
ලිස්සන පොලවේ අඩි තියන්න_______ බය හිතුනා

මුල් දින ටිකේ ලෙන්ගතු කම් මට ________ලැබුනා
හුරතල් මුණුබුරා මගේ ලඟ තනි _________මැකුවා
මිහි පිට සුරලොවක් වාගේ මට__________ දැනුනා
මගෙ ජීවිතේ වියපත් නැති වී ___________හැඟුනා

ලේලිය හොරෙන් එබිලා යයි _________එක විටක
මුතුරියෝ එක්ක කසුකුසුවක් _________ විය වරක
මං ගෙයි වැඩට ගෙන ආවේ __________කිව්වාට
කම් නෑ පුතේ මං කැත ඇති___________ උන්දාට

අයියෝ සිරී අම්මා විට ____________පැක්ටරියක්
මුදුලේ දහමුලුක් අත එක___________ හිරිකිතයක්
ආයෙත් එහෙම දුටුවොත්‍ තව එක ______සැරයක්
මං නම් ඉන්නෙ නෑ මේ ගෙයි________ තත්පරයක්

මොනවා කරන්නද ඒ මගෙ__________ අම්මානේ
මේවා ඇසී ඇගෙ හිත රිදවයි_________ නෝනේ
මහ ගේ ඉඩම විකුනාලත් ___________ඉවරයි නේ
දැන් ඈ තියාගන්නම සිදු ____________වෙනවානේ

අම්මා අදත් බින්දා එක__________ පලගානක්
බැරි වැඩ නොකර ඉන්නේ නැති____ කරදරයක්
මටනම් තවත් බෑ ඉවසන් ඉන්න_______ දිනක්
අම්ම ද මං ද තොරාගනු ඇත්තේ_______ එකක්

අත වෙව්ළුවා වලංගු නැති නිසා________ පුතේ
හිතලා නෙවේ පුතුනේ එය _______අතහැරුනේ
නුඹ ලා හිතේ තරහෙන් ඇයි _____පොරකන්නේ
දමලා එන්න ආපහු මැටි පැලට__________මගේ

අම්මේ පුංචි කලකට අපි රට ____________යනවා
එනතුරු අම්මා හිටියොත් මෙහෙ ______තනිවෙනවා
හොඳ හැටි බලාගන්න ට මම කාසි_________ ගෙවා
මේ ලඟ පාත තැනකින් නිවසක්__________ බැළුවා

පසුදා උදේ ලොකු මලු දෙකකුත්_________ එක්ක
මෝටර් රියෙන් මා ගෙන ගොස්_______ මහ දුරක
කොහෙදෝ තැනක කාමරයක________ මුල්ලකට
අතහැර දමා නුඹ බැලුවා මගෙ__________ මුහුණ

විගහට ඇවිත් මම නුඹ අරගෙන_______ යන්නම්
අතරින් පතර හැකි විට ඇවිදින්________ යන්නම්
ගෙදරට වඩා මේ තැන හොඳ ______යැයි කියමින්
මගෙ සුදු පුතා යන්නට හැරුණා________ විගසින්

අනේ හරිම පාළුයි මට ආයෙ _________ඉතින්
සුරතල් සිනාවෙන් කම්මුල සිප _______ගනිමින්
අත්තම්මියෝ හෙට මං එනවා________ ආයෙත්
මගෙ මුණුපුරා කිව්වේ හරි _________ආදරයෙන්

දින දින ගෙවී කාලය හොරු __________රැගෙන ගියා
මොන සැප ලතත් හද සැනසීමක්__________ නැතුවා
ආයෙත් මගේ පුතු එන්නේ ___________නැතිද කියා
පමණක් අසයි ඈ නෙත් පිය __________කවුළු තෙමා

පුදුමයි පුතේ නුඹ මගේ ලේ_______ කිරි බිව්වා
වරදක් කලාදෝ සිතුනා___________ උඹ හදලා
නිවසක කියා මඩමක__________ මා තනිකරලා
අම්මගේ ආදරේ පනමට_________ හිලව් කලා

වියළුන දෑත වෙව්ලයි වියපත්________ හින්දා
ටික ටික නුරුස්සයි මේ අය පිට________ හින්දා
මැරිලා යන්නෙ වත් නෑ නොකියා______ කියනා
අමු සොහෙනකට දමලා නුඹ______ යන්න ගියා

මගෙ සුදු පුතේ මියෙන්න පෙර_______ එක පාරක්
ඇවිදින් මගේ ලඟ හිටපන් එක __________දවසක්
හිත අතතියා කවපං මට බත් ____________අහුරක්
ඒ ඇති පුතේ ලබන්න මට ___________සැනසීමක්

ආසයි මමත් පුතුගේ මුව________ දැකගන්න
හුරතල් මුණුපුරාගේ හිස_________ සිපගන්න
පින් ඇති දෙවියනේ මට_______වරමක් දෙන්න
මතු සසරෙදී වත් පුතු ලඟ_______ මියැදෙන්න

වැඩිහිටි නිවාසේ උස කුළුණනට_________ බරව
ඈ නෙත් යොමා ගෙන සිටියා _______දොරටුවට
රන්වන් පාට මළ හිරු රැස් පෙර_______ මෙන් ම
පෙන්වයි ඇගේ දරු සෙනෙහස _____කොපුල් සිඹ




Wednesday, January 22, 2014

පුස්කාපු ආදරේ.............

හිත හාරගෙන - හාරගෙන
ඇතුලටම දුවන මතකය
හති දමාගෙන
ඇස් ඩොගිත්තන්
මේ හොයන්නේ නුඔම නේද?

විඩා පත් නෙත් කෙවෙනි
තිස් පැයම තෙත් කරන
හිතුවක්කාරව
මාව ම රිදවන
අහංකාර සිතුවිල්ල නුඔම නේද?

එකෝමත් එක ඈත දවසක
මාල හතකට සීන පෙන්නුව
අදත් - මතුවත්
මැරී මැරී උපද්දවන
වේදනාවේ විරහ ගීතය නුඔම නේද?

මගෙන්  මඟ හැරුණ
නුඹෙන් මග හැළුන
අඟ මුලක් නැති
පුස් කාපු ආදරේ.....!!!!

Sunday, January 19, 2014

නුඹට..........................ලිවාද? ලියවුණිද?

හැරයන්න බෑ - රිදවන්න බෑ
නුඹ වගේ මට බැරි නිසා....
හිනැහෙන්න බෑ - ඉගිලෙන්න බෑ
හිත නුඹේ විතරක් නිසා.....
වැලපෙන්නබෑ - මියැදෙන්න බෑ
නුඹට දොස් ඇති වෙන නිසා.......
සැනසෙන්න බෑ - අසරණයි මම
නුඹට ආදරේ කල නිසා........................!!

හැන්දෑ අහස මවනා සිත්තම් ___දැහැන.....
යටිහිත කොනිත්තා රිදවයි _____මගේ දෑස...
සුසිනිදු සයුරු රළ මත අරගෙන ___දෑත.....
පියමන් කලා මතකද අප________ පෙර දාක.................!!

වෙරළේ හැපෙන දිය රැළි ආපසු ______යද්දී........
දැනුනා නුඹත් යන සේ මාගෙන් ______වෙන් වී.....
දුවනා රළක් රැකගනු කොහොමද_____ ලං වී.....
පෙරළා එනතුරා ඉමි මිස___________ නුඹ පැරදී......!!

ක්ෂිතිය ඉමේ රැඳි රන්වන්_____ හිරු කුමරා....
ගගනත් රළ තෙරත් අතරට_____ සැපත්වෙලා....
පෙන්වා කියන්නේ මොනවද_____ වහන් වෙලා...
දුප්පත් අහස හැඬුවා රළ________ අහිමි නියා...........!!

සියොතුන් පියාඹා ඉගිලී ගිය_______ සැනෙකින්..
සඳ නැග එන්න ගතවුණ ඒ _______තත්පරයෙන්..
මන්දාරමේ  නිහැඬියාව ඇති_____ පදමින්..
දැනුනා එයත් නුඹ නැති විට _____කල්පයකින්............!!!!

තරු මුතු අහුරු විසිරී හැඩ වූ _____පමණින්....
සඳ කොමලිගේ අඩු පිරවිය හැකිද__ ඉතින්....
ඒ සඳ එළිය වැටෙනා රළ තෙර_____ මත්තෙන්.....
මැවෙනා රුසිරි සම වෙද තිබෙනා____ තරුවෙන් ......!!

වැහැරුණ සිතට ආයෙත් නව පණ _____දෙන්න...
කවදා හැකිද නොදනී මම නම්_______ තවම.....
බඳිලා විසුනු වූ හද යලි ___________සකසන්න
කිසිදා නොහැකි වෙයි තිබු ලෙස_______ ගොඩගන්න....!!

තුරුලට රැගෙන පියමන් කල වීදි _______කොනේ....
මතකය තවත් සිහිවෙනවා නිතර________ වෙලේ...
ගිලිහී ගියාදෝ නුඹ මා බැඳපු __________සෙනේ.....
නුඹ මංමුලා වීදෝ සත්සයුරු___________ කොනේ...................!!

සඳකට නොහැක දහවල හිරු වී _____ඉන්න..
හිරුට නොහැක රෑ සඳ කොමලිය_____ වෙන්න....
නුඹ නොහැක මගෙ ආදරේ _________විඳගන්න...
මටද නොහැක තව ලතැවී___________ මියැදෙන්න......................?

වැහැපොද අතර එක කුඩයේ_____ ගුලිවෙන්න...
හිතුනා මටත් හිටියානම් ________නුඹ මෙතන...
දින සති ගත වුණා තවමත් ______අපි දෙතැන...
ලංවී පුරපු ආදරේ සැඟවී ________කොතැන........................?

දින සති ගතවෙලා යනවා_______ පියාඹලා
හැමවිට නුඹ ම  සිහිවෙනවා_______ කඳුළු ගලා
නුඹ මෙන් ඉන්න බෑ මටනම්_______ දුරස් වෙලා
මියෙනා තුරා නුඹ එනතුරු __________හිඳිමි බලා.................!!.

නුඹගේ සුවඳටත් රහසින් ______පෙම්බැඳපු
දහසක් වේදනා උහුලන්________දුක් විඳපු
රිදෙනා හිතින් තවමත් එන______මග බලපු
කවිකාරිය මමයි කවදත් ________නුඹ සොයපු.............................!!

තනිකම පාළුව දුක______ රැන්දූ..
නෙතගින් වැටෙනා මේ___ බින්දු...
බොඳකර සිතුවම් හද_____රැන්දූ...
මවනවා විරහවේ කවි ____සින්දු..............................!

මේ හැටි රිදවන්නේ නුඹ දුක ___දන්නැතිද?
තුරුඳෙපු හැටි අමතක ________වීවත්ද?
මගේපණ නුඹ ලඟයි කීවේ ____නුඹ මයිද?
නුඹ මගෙ විතරමයි කිවා ______අමතකද........................?

නුඔ නැති පාළුව දැනෙන_______ තරම්.......
නුඔට බිඳක් වත් දැනුනා_________ නම්......
සත්තයි නුඹ කිසි දින ____________ඔතරම්...........
දුක් දෙන්නේ නැති වෙයි__________ මෙතරම්.......................!!

වැටෙන්න කඳුලක් නැහැ මට ________දැන්........
හෙලන්න සුසුමක් හොයනවා_________ මං....
විඳින්න සතුටක් දන්නෑ _____________මං........
හදන්න හිතකුත් ලඟ නැහැ__________ දැන්.........................!!

දකින්න ඔය රුව දෙනෙතින්______ ම....
පෙරුම් පුරනවා හැම __________විටම....
හිතනව නුඹ එයි _____________ලඟදීම.....
කාලය විසඳයි හැම ___________දේම....................................!!