වෙස් මාරුව 10 ( අවසන් කොටස)

යෙමත් පාරක් අම්මා ඇහි පිල්ලමක් වත් ගහයිද බලන්න කොච්චර උත්සාහා කලත් අන්තිමට දොස්තරලා මගේ උරහිසට තට්ටුවක් දාලා යන්න ගියා. කොලපාටින් කොටුකරපු අම්මාගේ ඇඳ ගාව මං තනි උනා...

“අපිට එයාව බේරගන්න බැරි වුණා“ නර්ස් නෝනෙක් කිව්වා මට.
දුකයි කියාගන්න බැරි තරමටම. නමුත් පුදුමේ කියන්නේ මට අඬන්න කඳුළු තවත් තිබුණේ නැහැ.ඔහේ ගොළුවෙක් බීරෙක් වගේ බලාගෙන හිටියා මම.
මං දන්නවා මට ඇත්තට මූණ දෙන්න ම වෙනවා දැන්. ඒ වගේම අම්මා හැමදේම දැනගෙනයි මේ ගමන ගියේ කියන්නත් මට විස්වාසයක් තිබුණා.
ටික වෙලාවකින් විදුර ආවා. තනිවම නම් නෙවෙයි...

සචීත් එක්ක.

යාළුකමට වඩා දෙයක් ඒ දෙන්න අතර තියෙන වග මට දැනෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. ඒක තමයි  පලවෙනිම දවසේ සචී මාව දැකලා මඟ හැරියේ.
මේ සේරම දේවල් වෙනස් වෙලා. මං විතරක් තාම එතනම??

එක අතකට විදුර තනි වෙනවට වඩා සචී ලඟ ඉන්න එක හොඳයි. මට කවදාවත් ආයෙම විදුරට ලං වෙන් බැහැ කියලා දැන් මට පිලිගන්න ම වෙනවා. ලඟ තිබුණ පුටුවකට බර උනේ මම නොදැනීමයි.
අම්මා වෙනුවෙන් ලංකාවට ආවත් මට ඉතිරි උනේ දුක විතරයි. විදුරගේ මූලිකත්වයෙන් අම්මගේ අවසන් කටයුතු සිද්ද වුණා ලස්සනට . මම... මියගිය ශෙවින්ද්‍යා රණසිංහ.. නිකම්ම නිකං පිට මිනිහෙක් වෙලා බලාගෙන ඉන්න චරිතයක් උනා.
ඉතින් දැන් මං කා වෙනුවෙන් ජීවත් වෙන්නද?

මගේම කාමරේ දැන් මට අයිතිව තිබුණ ඇඳුම් දෙක තුන බෑග් එකට දාගෙන මං තරප්පු පෙල බැස්සා. ශෙවී ගෙන් කියලා මං ගත්තේ,අම්මගෙයි මගෙයි ඡායාරූපයක් විතරයි.
ඒකත් හොරෙන්.
කා එක්ක වත් කතා කරන්න මට උවමනාවක් තිබුනේ නැහැ. හැමෝම දකින එකත් මට හිසරදයක් වෙලා තිබුණේ.
හැමෝම බලන් ඉද්දි මං මගේ බෑග් එකත් අරං පාර දිගේ ඔහේ ගියා. පලවෙනියෙන් ම ආපු දඹුල්ල කොළඹ ඒ/සී  බස් එකට නැග්ගා.

****************************

කොලඹින් යොහාන් ව හොයාගෙන මම ආපහු හෝටල් කාමරේට ආවා. මෙච්චර වෙලා හිතේ හිර වෙලා තිබුණ දුක පිටාර යන්න ගත්තතේ යොහාන් දැක්ක ම.
ඇස් ඇරගන්න බැරි ගානටම අඬලා පපුවත් අල්ලගෙන  ඇඳෙන් වාඩි උනාට පස්සේ. වතුර එකකුත් අරගෙන ඇවිත් යොහාන් කතා කලා.

“ඇයි බං මේ? මං ජීවිතේට උඹ මෙහෙම දැක්කේ නෑ ශෙයියා.“
“අපි ඉක්මනින් ආපහු යමු යොහාන්“ වතුර එක තොලගාන ගමන් මං කිව්වා
“ශෙවී බැඳලද බං?“
යොහාන් හෙමීහිට ඇහුවා.
“මචං මං වඳින්නං, මාවත් අරං පලයන් නැත්තං මට යන්න හදලා දීපං“ වීදුරුව  එක උගුරට බීලාදාලා මං කෑගැහුවා නෙවේ කෑගැහුනා.

ලයිට් එකට කලින් දවසේ මට නින්දක් තිබුණේ නැහැ.
හැම දේම මතක් උනා. මේ හැම කරුමෙකම ඇරඹුම වුණ ඒ කාලකන්නි අනතුර, සිහිය එනකොට දැනුන දේවල්.. ශෙවාන්ගේ දෙමාපියෝ.. ටියානා.... මස්සිනා.... යොහාන්... මං???  මං ගන්න ඕනේ තීරනේ මොකක්ද කියන එක ලොකු ගැටළුවක් උනා මගේ හිතට.
ජීවිතේ කෙලවර කරගන්න?
ආපහු ගිහින් ටියා බඳින්න?
වෙනත් විසඳුම්.......

සත්තකිම්ම ටියානා මට හිතුන දේ, මං කරන්න ම තීරණේ කලා.
ඔයා හොඳයි, හැම අතින් ම සම්පූර්ණයි. ඔයාව ලබන පිරිමියා මාරම වාසනාවන්තයි. ඒ ශෙවාන් වුණා නම් මටත් සතුටුයි. ශෙවාන් ඔයාට ගැලපුනත් මම ගැලපෙන එක ගැන නම් මට සැකයි. ඒක ඔයාටත් තේරැණ දෙයක් කියලා මම දන්නවා.

මේ හැම දේම මගේ අම්මා නමින් දිවුරන්න පුළුවන් හෘද ශාක්ෂියට එකඟවම සම්පූර්ණ ඇත්ත කියලා. මගේ අතින් ම මේ සේරම ලියලා තියන්න ගත්තේ ඇත්තටම ටියා.. ඔයා වෙනුවෙන්.
ඒක කරන්න හේතු උනේ  මං ලංකාවට එනකොට ඔයා කියපු කරපු දේවල් නිසා. මොකද මමත් ඔයා වගේම හිටපු කෙනෙක්, මේ දේවල් වෙන කාටවත් තේරුම් ගන්නත් බැහැ.තේරුම් කරන්න් ගියොත් ඒ තේරුම් කරන කෙනා පිස්සෙක් විදියට දකින්න පුළුවන් විතරයි.

ඔයා පිලිගත්තත් නැතත්..
ජීවිතේ දී අපේ දෛවය වෙනස් කරගන්න , දෙවියෝ අපිට අවස්ථා දෙනවා .. සමහර විට එකක්  වෙන්න පුලුවන්. දෙකක් වෙන්න පුළුවන්.
ඉතින් ඒකෙනුත් දුර්ලභම අවස්ථාව ලැබුණේ මට කිව්වොත් නිවැරදියි නේද? ඒක පවක් ද පිනක් ද විග්‍රහ කරන්න මං දන්නේ නැහැ.
දවසක ඔයාට මාව දකින්න ලැබේවි.. නොලැබෙන්න ත් පුළුවනි... ඒ වගේම මම ඔයා ලඟපාතකම ඉන්නවා වෙන්නත් පුළුවනි. හැතැක්ම දාස් ගානක් දුර වෙන්නත් පුළුවනි.
මොනවා උනත් මං මනසින් ජීවතුන් අතර කියලා නම් ස්ථිරවම කියන්න පුළුවනි.

________________________________________________________________

තහ්..  කාමරේම ගිලිලා තිබුණ නිහඬබව බිඳුනේ පොතක් වහන සද්දෙකින්,
පොඩි නිහඬතාවෙකින් පස්සේ ශෙවාන් ගේ දින පොතට වශිවෙලා වගේ ඉඳපු ටියානා එකපාරම කතා කලා.

“යොහාන්.. ශෙවාන් මේක ඔයාට දීලා කොහාටද ගියේ.?“
“මාත් කල්පනා කලේ ටියා, මූ මට ඕක ටියාට දෙන්න ඕනෙ කියලා මගේ අතට දීලා බාත් රෑම් එකට යන්නම් කියලා ගියා ගියාමයි අපහු ආවෙ නෑ.“
“අපි එයා හොයන්න ඕනේ යොහාන්.“
“කොහෙන්ද? කොහොමද? මේක ලංකාව නෙවේ ටියා.. කොහොමද ශෙවාන් ව හොයන්නේ? දැන් ඔය මල ඉලව් දින පොතේ මොනවද තියෙන්නේ ?. මට පිටු දෙක කියවද්දි නින්ද ගියා“.
“මේකෙද? “
ටියානා තත්පරයක් දෙකක් කල්පනා කලා..
“මං පහලට ගිහින් එන්නම් ඔතනම ඉන්න.. “ ටියා පහල තට්ටුවට ඉක්මන් ගමනෙන් ගියා.

විනාඩි පහක් දහයක් ගියා..
“ටියා...“ මට බැරිම තැන පහලට යන්න හිතුනා
හෙමින් හෙමින් පහල තට්ටුවට එනකොට...
ටියා ශෙවාන් ගේ දිනපොත  පිටුවෙන් පිටුව ගලවලා උඳුනට දාලා පුච්චනවා...
“මොනාද මේ කරන්නනේ ටියා...“ මං ඇහුවා
“යොහාන් කරන්න තියෙන හොඳ ම දේ මේක..“ ටියානා  රතු උන ඇස් වල කඳුළු පුරවගෙන කිව්වා.
“ඒත් මං එයා ව හොයාගන්නව මයි, යොහාන්..! හොයාගන්න ව මයි.. “  ටියානා ඒක කිව්වේ තියුණු අධිශ්ඨානයකින් ම කියලා මට වචනෙන් ම දැනුණා..

Comments

Popular posts from this blog

මං ආදරෙයි ඔයා බොරුකරන තාලෙට - I love the way you lie

love the way you lie - part 2

ආත්මගත බැඳීම - සහෝදරකම