අප්පච්චී

ම්මලා පුතාලා -  තාත්තලා දුවලා
ඇත්ත තමයි අම්මලා වැඩීපුරම ආදරේ පුතාලට ( ඒකයි අපේ අම්මත් මට පුතේ කියන්නේ ) ඒවගේම තාත්තලා වැඩිපුරම ආදරේ දුවලට.
තාත්තලා කොච්චර නම් දුක්විඳිනවද පවුලක් ජීවත් කරන්න. මට ඒවගේ සිද්දි කිහිපයක්ම දකින්න"අත්විඳින්න ලැබිලා තියෙනවා.

මං දවසක් පුංචි  කාලේ අප්පච්චිත් එක්ක ඉක්කෝලෙ ගිහින් එද්දි  මගේ සපත්තුව කැඩුනා. ඉතින් අප්පච්චි මාව වඩාගෙන ගියා සපත්තු මහන කෙනෙක් ගාවට,ඒකාලේ නොතේරැණාට ඒ දේවල් මතක් වෙනකොට හිතට පුදුම දුකක් දැනෙනවා.
ඒ සපත්තු මහන මනුස්සයා හිටියෙ  ඉස්කෝලේ තාප්පේ ගාව, ඉස්කෝලෙ එපාපැත්තේ තිබ්බ ජෑම් අත්තක පුංචි හෙවනැල්ලක් විතරයි ඒ මනුස්සයට අව්වට වැස්සට හෙවනක් වුණේ.  ඒ මනුස්සයාගේ එක කකුලක් නැහැ.කිහිලි කරැවක් ලඟින් තියාගෙන ගිණි අව්වේ දහදිය පෙරාගෙන එයා ඉඳිකටුවක් එක්ක ඹට්ටුවෙනවා.
අප්පච්චි මාවත් වඩාගෙන එතනට ආවම ඒ මනුස්සයා මං දිහා බලං ඉඳලා හිනාවුණා. මට මතකයි මං හිනාවුනේ නැහැ. මං බය උනා ඒ මනුස්සයාගේ විට පුරෝගත්තු රතුපාට දත් වලට.
“ඉක්මනටම කඩාගෙන වගේ, කෝදෙන්න මං මහලා දෙන්න“ උගුරෙ රැල්බුරැල් ඇරලා එයා කිව්වා. “දාංගලේනේ පරිස්සමක් නැහැ“ අප්පච්චි කිව්වා .
මට ඕවා මතක්වෙනවයැ දුවන්න පනින්න ගත්තම.අප්පච්චි කියනකල් මට කකුලේ සපත්තු තිබ්බද වත් ගානක් තිබ්බෙ නැ.  සපත්තු මහන මාමා මාර ඉක්මනකින් මගේ සපත්තුව මහලා දුන්නා,මතකයි ඒ මනුස්සයා සල්ලි ගත්තේ නැහැ. “මටත් ඔය වගේම දූ පොඩ්ඩක් ඉන්නවා මහත්තයෝ.මට ඔයිකට සල්ලි එපා“ කිව්වා
“පිස්සු නැතුව මේක අරං ඒ දරැවට මොනවා හරි අරං දෙන්න “අපේ අප්පච්චි සල්ලි බලෙම්ම දිලා මාවත් එක්කාගෙන ආවා. මං යනකොට නම් හැරිලා හිනාවෙලා එන්න අමතක කලේ නෑ.එදා ඉඳන් ඉස්කෝලෙ ඇරැණම මං ඒ පැත්තට ඇහැ දාලාමයි ඒන්නේ.
පහේ ශිෂ්‍යත්වෙන් පස්සේ මං ආයේ කවදාවත් ඒ මනුස්සයාව දැක්කෙ නැහැ.
ඒ මනුස්සයා ඒ දුක් වින්දේ ඒ දුවට උගන්වන්න වෙන්න ඇති. තාත්තා වගේ දුක්විඳින් නැතුව ජීවත් වෙනවා දකින්න පෙරැම් පුරන්න ඇති.
සමහර විට මායි අප්පච්චියි මැකිලා යනකල්ම බලාගෙන ඉන්න ඇත්තේ එයාටත් ආස හිතෙන්න ඇති දුවගේ අතින් අල්ලගෙන,කෙල්ල  ගිරවා වගේ තොරක් නැතුව කියවන කතා වලට හූමිටි තිය තිය යන්න.

දවසක් මායි අම්මයි පොලට ගිහින් එද්දි, පෙනුමෙන් ගොඩාක් අසරණ දුප්පත් මනුස්සයෙක් පොඩි දුවෙකුයි පුතෙකුයි  අත් දෙකෙන් අල්ලාගෙන එලවළු මල්ලකුල් එල්ලාගෙන බස් හෝල්ට් එකට ආවා. හෝල්ට් එක ගාව සෙල්ලම්බඩු වළලු මාල වෙලෙන්දෙක්.ඒ මනුස්සයටක් පවුලක් ඇති ඒ පවුල ජීවත් කරන්න ඒ මනුස්සයට ඕනෙ බඩු විකුණගන්න
ඉතින් එයා කැගහමින් ළමයින්ගේ අවධානය ගන්න හදනවා. අර මං කිව්ව අසරණ මනුස්සයගේ ළමයි දෙන්නටත් ආසාවෙ බැරිව ‍තාත්තගේ අතෙන් ඇද ඇද ඒවා ඉල්ලන්න ගත්තා. ඒ මනුස්සයා අතේ සල්ලි තිබුණෙ නැති බව තේරෙන කෙනෙක්ට තේරැණාට ඒ පොඩිඑවුන්ට ඒවගේ තේරැමක් නැති හංදා අඩන්න ගත්තා. ඒ තාත්තා කොච්චර අසරණ වෙන්න ඇද්ද?
කරන්න දෙයක් නැතිම තැන ඒ මනුස්සයා ලමයි දෙන්නත් අරං ඊලඟ හෝල්ට් එක පැත්තට ගියේ ළමයි දෙන්නවත් ඇදගෙන.මාත් ඔහොම වද දෙන්න ඇති .අනේ ලෝකෙ හැම තාත්තෙක්ටම එක වගේ ආර්ථික මට්ටමක් තිබුණා නම්.!!

ලෝකේ මේ වගේ, මීට වඩා දාස්ගුණේකින් දුක්විඳින තාත්තලා ඉන්නවා.ඒ එක්ක බලද්දි අපේ තාත්තා ගැන මං පුදුම වෙනවා . නැහැයි කියන්නේ නැහැ සුන්දර ළමාකාලයක් තිබ්බා මට.
තාත්තා  වැඩ ඇරිලා එනකන් වැට ගාවට වෙලා බලං ඉඳපු හැටි . ඈතින් පේනකොටම පුළුවන් වේගෙන් දුවගෙන ගිහින් බදාගන්න හැටි.ගෙනාපුවා හොයන්න තාත්තගේ සාක්කු සේරම අදින හැටි,ටොපියක් හරි වොකලට් පෙත්තක් හරි හම්බුණාම අම්මට පෙන්න පෙන්න කන්න දුවන හැටි, මතක් වෙද්දි ඇස් කකියන්නේ ආයෙත් මට පුංචි වෙන්න ඕනේ කියලා හිතිලා වෙන්න ඇති. ඇත්තටම මං තාත්තාට ගොඩක් ආදරෙයි.ඒ කලේ මතකේ  කළු සුදු චිත්‍රපටියක් වෙලා මගේ හිතේ පදිංචිවෙලා ඉන්නේ ඒකයි.
අපේ අප්පච්චි වගේ කතන්දර කියන කෙනෙක් මං තව වෙනකල් දැක්කෙ නැහැ.හැමදාම රෑට නින්දට කලින් මං මගේ කොට්ටෙත් උස්සාගෙන අප්පච්වී ගේ ඹඩොක්කුවට යනවා කතා අහන්න කතාවත් එක්කම එහෙමම මං දොයි.දවසක් මං උණ ගැනිලාඉද්දි  අප්පච්චි එලිවෙනකං මට එක දිගට කතා කිව්වා මතකයි.

අප්පච්චි වැඩක් කරනවා නම් මටත් අඩුගානේ ලඟට වෙලා හරි ඉන්න ඕනේ.ඒ හිටියමත් ඉතින් එක විදියකට ඉන්නේ නැහැ,
“අප්පචි ඒක මොකක්ද?“ “අප්පච්චි ඒක මොකටද?“ “අප්පච්චි ඒක නැතුවම බැයිද?“ රටේම ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියාම වැඩට වෙලාවත් නෑ.
මං ආසම අම්මව බය කරන්න .අප්පච්චී ත් ඒ වෙලාවට මරැ.  දවසක් අම්මා තනිවම පොලට ගියා මාව අප්පච්චිට දාලා. අපේ ගේ ඉස්සරා අඹ ගහක් යට බංකුවක් තියෙනවා. අප්පච්චි පත්තර බලන්නේ එතන.ඉතින්  අප්පච්චි පත්තර බලනකං මං  අප්පච්චිගේ සරමේ ඉඳගෙන ඉන්නවා ඔන්චිල්ලාවක වගේ .
අප්පච්චි අම්මා එනවා දැකලා මගේ ඔළුවට පත්තරේ දාලා මාව හැංගුවා . පස්සේ  ලඟට අම්මා ආවම “කෝ ළමයා අරං ගියේ නැද්ද“ කියලා  අප්පච්චි ඇහුවම අම්මගේ බඩු මල්ල අතඇරැන ඇහුන මට. ඉතින් පත්තරෙත් ඔළුවෙ නමාගෙනම මං ගියා මතකයි මොනාද ගෙනාවෙ බලන්න. අම්ම බැන බැන ගෙට ගියා ඒපාර.

මට අද වගේ මතකයි , අම්මා වැරද්දක් කරලා මට ගහන්න පන්නද්දි අප්පච්චී මාව හංගගන්න හැටි, අසනීප උනාම අම්මයි අප්පච්චීයි මං ගාවම නිදි මරං ඉන්න හැටි , පහුවදා ඉස්කෝලෙ යැව්වොත්  ඉස්කෝලේ ඇරෙනකල්ම අම්මයි  අප්පච්චියි ගේට්ටුව ගාව ඉන්න හැටි , ගනං හදන්න කම්මැලි වෙලා නිදාගත්තම උදේට බලද්දි ගනං සේරම හදලා තියෙන හැටි,අප්පච්චීට කවදාවත් මට බත් කවන්න බෑ ඒ කටවල් මට ඒතරං ලොකුයි .
කාලෙ ගෙවිලා ගිහින් මං ලොකු ළමෙක් වෙලා කියලා කාමරේකට දාලා වැහුවම අප්පච්චී බලන්න ඕනේ කියලා ඇඩුව හැටි, මතකයි අප්පච්චී හොරෙන්ම ඇවිත් ජනේලෙන් මට ටොෆි,පේර අරවාමේවා විසි කරනවා, නාවලා ගෙට ආව වෙලාවේ අප්පච්චී මාව තුරැල් කරං අඩපු හැටි. මගේ ජීවිතේටම එදා තමයි අප්පච්චී අඩනවා දැක්කේ.
දවසක් කොල්ලෙක් දීපු ලියුමක් අම්මට අහුවෙලා ,අම්මා මං යාළුවෙලා කියලා හිතලා නොකා නොබී අඞඅඞ දවසම නිදා ගත්තා.ඒත් අප්පච්චී බත් උයලා මට කවලා කිව්වා තේරැම්යන වයසක් එනකල් මගේ පුතා යාළුවෙන්න එපා කියලා. මං පොරොන්දු උනා අප්පච්චීට.
අප්පච්චී,මං ඒ පොරොන්දුව කැඩුවෙ නැහැ.ඒත් ඔයා අද කෝ.....!!!!

සාමාන්‍ය පෙළ විභාගේ හෙටයි කියලා ගෙදර ලොකු රංඩුවක් පටං ගත්තා.මම දැනං හිටියෙ නැහැ මොකටද කියලා. අම්මා හොඳටම අඞලා නිදාගත්තා.අප්පච්චී ඇඳුම්ටිකත් අරං කොහෙද යන්න ලෑස්තිය.මං ලඟට ඇවිත් ඇහුවත් අප්පච්චී කතාකලේ නැහැ. පාරට බැහැල යන්න ගත්තා. මං ගොළුවුනා වගේ බලං හිටියා වැට ගාවට වෙලා අප්පච්චී ආයෙ හැරිලා බලයිද කියලා.
ඒත් හැරැනේ නැහැ.

ඔව් .. කාලෙ ගෙවිලා ගියා. අම්මා රස්සාවක් කරලා ජීවත් වෙන්න දැඟළුව අතරේ උන දේවල් සේරම තේරැම් යන්න ගත්තේත් එතකොට.මං මවාගෙන ඉඳපු චරිතෙට වඩා හැංගුන ජීවිතයක් අප්පච්චීට තිබිලා.මටත් වඩා වටින දෙයක් තිබිලා.ඒකයි එයාට මාවත් දාලා යන්න පුළුවන් වුනේ.
කතන්දර ගොඩක් මගේ කනට ඇහුනත් මට පුංච් කාලේ අමතක කරන්න බැහැ අප්පච්චී. අම්මා නම් ඔයා ගැන මතක්වත් කරන්න දෙන්නේ නැහැ.නොකිව්වට අම්මාත් ඉන්නේ පුදුම දුකකින්. සද්ද නැතුව කල්පනාවක ඉඳලා එකපාරම ලොකු හුස්මක් හෙලද්දි මට ඒක තේරෙනවා. වෙලාවකට ගේ ගාවින්ම ඔයා හොරැහින් මේ පැත්ත බලගෙන යනවා මං දකිනවා. අනේ ඔයාගේ කෙල්ල මතක්වෙන්නේම නැද්ද අප්පච්චී ?
අවුරැදු ගානක් වෙලත් මෙහෙම කොහෙමද ඉන්නේ අප්පච්චී? මං කසාද බඳින්නයි යන්නේ.. අම්මා හොයපු කෙනෙක්ව. මම ගෙදරින් යන දවසට මට අම්මට විතරද වඳින්න වෙන්නේ අප්පච්චී? “මං පුතාව ගෙනියන්න දෙන්නේ නැ බෑනත් එක්ක ගෙදර තියාගන්නවා“ කියපු අප්පච්චී ,අද ඔයා නැහැනේ? ඒකාලේ මගේ ගොන් ප්‍රශ්න වලට උත්තර දුන්න වගේ මේවටත් උත්තර දෙන්න අප්පච්චි...
මං අඞන්නේ නැහැ.මොකද හිතේ දුකේ ප්‍රමානෙ හැටියට වැටෙන කඳුළු හරිම පොඩ්ඩයි හින්දා.ඒත් තාත්තලා දුවට කියන සිංදු,කතා ඇහෙද්දි දකිද්දි  මට දරාගන්න බැ අප්පච්චි.

අනේ අප්පච්චී පාර මතකයිනම් දැන්වත්  ගෙදර එන්න.මං අප්පච්චී එනකන් පාර බලාගෙන ඉන්නම් පුංචි කාලෙ වගේම.

                                          ! .........නුඹ වැඩි නෑ අප්පච්චී එන්න ගෙදරට....... !

ලියාගෙන ගියාට මට හිතාගන්න බැහැ මේක සාමාන්‍ය ලිපියක්ද? කෙටි කතාවක්ද ?නැත්තම් ?
ගිහින් එන්නම්.
 - නමෝ බුද්ධාය -





Comments

  1. මේකත් බොහොම අගේ ඇති ලිපියක්. කලින් "අම්මා" ලිපිය කියවලා දැනුණු කම්පණය ඒ විදියටම මේකෙනුත් මට දැනුනා. ආරම්භයේ සිට අවසානය දක්වා කතාවේ විහිදීම අංග සම්පූර්ණයි.

    ReplyDelete
  2. හරිම ලස්සනයි නංගා feeling එක හොඳටම ආවා. අපි මේක දාමු කැටගරියක් හොයාගන්න බැරි සිතිවිලි ගොඩට. මොකද අපිට හැමවෙලාවෙම කෙටි කතා නවකතා ලියන්න බෑ. අපිත් මිනිස්සු...

    ReplyDelete
    Replies
    1. එනම් කවුළුවේ සිතිවිලි ගොඩක් හදමු අපි :)

      Delete
  3. සත්තයි.... ඇඩුනා.... ඕං ඇත්තම කිව්වා මං.....
    ඒත්.......මේ අන්තිමට......මේ.....
    .
    .
    .
    මං කසාද බඳින්නයි යන්නේ.. අම්මා හොයපු කෙනෙක්ව. .....??
    ?????
    ??
    ?

    ReplyDelete
    Replies
    1. හුම්.... දුව දැන් ඒ වයසට ඇවිත්.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. This is like making the feelings colorful. I do not wonder how you make these things better as can speak to our hearts. But I know one thing, if you wanna taste the tears, you have to cry. The man, who cried, knows the taste of tears.

    ReplyDelete
  6. ම්ම්ම්... ලියන විදිය වගේම හිතන විදියත් ලස්සනයි...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මං ආදරෙයි ඔයා බොරුකරන තාලෙට - I love the way you lie

love the way you lie - part 2

ආත්මගත බැඳීම - සහෝදරකම